අයිස් පලම්

හේන් පිට්ටනියේ පන්දු ගසන කොලු කුරුට්ටන් කීප දෙනාගේ කෑ කෝ ගෑම් යටපත් කර ගෙන කජුවත්තේ අළුත් ගෙදර දුරකතනය ඉමක් නැතිව නාද වන්නට විය." චැහ්.. වදේ " කී සුරම්‍යා සාවනාව අතට ගත්තේ කැමැත්තකින් නොවේ. අනතුරුව ඒ කතා කරන්නේ ආනන්ද යැයි සැකයකින් ඈ ඉක්මණ් වුනාය. කලාතුරකින් දිනෙක කොහේ හෝ ඈත රටක නැව් තොටක , බඩු නැව නැංගුරම් ලූ විට ආනන්ද එසේ කතා කර ඇත.එහෙත් එහා පසින් ඇමතුවේ ආනන්ද නොවේ. 
" මේ සුරම්‍යාද ?"
" ඔව්.. කව්ද ?"
" මම....'' විජිත "
"ආ.. ඉන්ස්පෙක්ට..."
" මං කිව්වනේ ඔයා මට ඉන්ස්පෙක්ට කියන්න ඕන නැහැ"
" දැන් කතා කරන්න බැහැ. මල්ලි ඇවිත් ඉන්නවා" බොරුවක් කී සුරම්‍යා සාවනාව තබා ඉස්තෝප්පුවට ආවාය.
දින දෙකකට කලින් , කජුවත්තේ අක්කර තිහේ කොතැනක හෝ කසිප්පු වලලා ඇතැයි යන කට කතාවක් හෝදිසි කරන්නට ආ පොලිස් පරීක්ෂක විජිත , සුරම්‍යාගේ අළුත් ගෙට ගොඩ උනේ  ඇගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න ඇසීමටය. අන්තිමේදී ඔහු ගෙයින් පිටව ගියේ ඈ හැදූ තේ කෝප්පයකත් රස බලා ඈ පිළිබඳ තොරතුරුද දැන ගෙනය.

සුරම්‍යාගේ සැමියා වූ ආනන්ද ග්‍රීක බඩු නැවක වැඩ කරන්නට ගොස් තුන් අවුරුද්දක් ගතවූ බවත් මේ කාලය තුල සුරම්‍යා තනිවම මේ අළුත් ගෙයි ජීවත් වූ බවත් විජිත කතා බහේදී දැන ගත්තේය. තවද ,මේ මාලිගයක් වැනි අළුත් ගෙය ගුරු පාරට මුහුණලා නිමවුනේ ආනන්ද එවන මුදලින් බවද ඔහුට දැන ගන්නට ලැබිණ.
ආනන්දගේ අම්මාත් ,අයියාත්,අයියාගේ බිරිඳ හා දරු තිදෙනාත් ජීවත්වූයේ වත්ත මැදට වෙන්නට වූ මහ ගෙදරය.ආනන්දගේ අයියාත් සුරම්‍යාත් අතර එතරම් ඇයි හොඳයියක් නැති බවද කතා බහේදී එළි විය.තමා පොලිස් පරීක්ෂකවරයාට තම පුද්ගලික තොරතුරු හෙළිකලේ සිතා මතා නොවුවද , වුවමනාවට වඩා තමා ගැන ආරංචි ඉබේම මුවින් පිටවී ඇති බව සුරම්‍යාට දැන් පැහැදිලි විය.

"ඇයි ඔයා මෙහෙම තැනක තනියෙන් ඉන්නේ ?" විජිත එවේලේ ඇසුවේ ඉඟියක්ද කරමිනි.
තමා පතිවත රකින කාන්තාවක් බව ඔහු නොදත්තාද ?
" මන් ඉන්නෙ තනියෙන් නෙමෙයි. වැඩට උදව්වට ඉන්දුමතී ඉන්නවා"
"ඉන්දුමතී ?"
"ඔව්.. අපේ කෙල්ල.. මහත්තයා වාද්දුවෙ එක්කන්  ආවෙ. දැන් මං කඩේ ඇරියා"
ඉන් මඳ වෙලාවකට පසු විජිත තම නිල හිස් වැසුමද ලා ගෙන ජීප් රතයෙන් පිටව ගියේ, "ආයෙත් එන්නම්කෝ" යැයි කියමිනි. නිල ඇඳුම හැඳ සිටි ඔහු කඩවසම් තරුණයෙක් විය. සුරම්‍යා ඒ බව නොදුටුවා නොවේ. එහෙත් තමා ආනන්දගේ බිරිඳ බව ඈ අමතක නොකළාය.
" ඔයා වැන්දඹුවක් වගේ ජීවත් වෙන්නේ " විජිත කී කතාවක් ඇයට යළි යළි මතක් විය. " ඔයාගේ මනුස්සය අවුරුදු තුනක් තිස්සෙ නැවක නැගිල ගිහින් නම්... ඔයාට පාළු නැද්ද ?"
" නැහැ" සුරම්‍යා එවේලේ කීවාය. " මට යාළුවෝ ඉන්නවා.. නෑදෑයො ඉන්නවා"
තමා කීවේ කොතරම් බොරුවක්ද ? තම නෑදෑයින් ඉන්නේ කොතරම් ඈත පළාත් වලද ? තමා ගම් පියස හැර ආවේ ආනන්ද කෙරෙහි වූ ආදරයෙනි. අද තමා තනිවී යයි සිතෙත්ම ඇගේ ඇසට කඳුළක් නැගිනි. සැබවින්ම තමා වැන්දඹුවක් මෙන් නොවේද ? මාළිගාවක් මෙන් අලුත්ම පන්නයේ ගෙයක් තිබුණද තමා මේ බිත්ති හතර මැද තනිවී සිරවෙලා නොවේද ?

හේන් පිට්ටනියේ පන්දු ගසන කොල්ලන්ගේත් කෙල්ලන්ගේත් කෑ ගෑම ඇසෙන විට මේ ගෙතුළ පාලුව තවත් දැඩි වෙයි. තමාටත් දරු පැටියෙක් සිටියා නම් යැයි සුරම්‍යාට අපමණ ශෝකයක් දැනෙයි.
" අයිස් පලාම්... අයිස් පලා..........ම්" කොලු කෙල්ලන්ගේ කෑගෑම අතරින් නලාවක් හැඬවෙනු ඇසිනි.සුරම්‍යා ගෙල දිගු කොට පාරෙන් එපිට බැලුවාය. කන්ද නැග්මේ බයිසිකළයක් තල්ලු කර ගෙන ආ සරම් කාරයා ඇගේ ඇස ගැටිණි.
පන්දු ගසමින් සිටි දරු දැරියන් ඒ සියල්ල අමතක කොට අයිස්පලම් බයිසිකළය වට කර ගෙනය. දෙතුන් දෙනෙක් පිටියෙන් එහා අතු ගෙවල් වලට දුව ගොස් කාසි රැගෙන ආවෝය. හවස අව්වෙන් මුලු පරිසරයම රන් වතුරකින් නැහැවිලාය. හැම තැනම සතුටක් වෙතැයි සුරම්‍යාට සිතිණි. අයිස් පලම් කන දරු දැරියන් අතර දැන් කෑ කෝ ගෑමක් නැත. හැම දෙනම සැනසෙන සතුටකය.

අයිස් පලම් විකුණා මුදල් කාසි එකතු කර කමිස සාක්කුවේ ලා ගත් සරම්කාරයා බයිසිකළය තල්ලු කරගෙන කජු වත්ත අතට එන්නට වුනේය. සුරම්‍යාටද අයිස් පලම් කෑමේ ආශාවක් උපනි.
" අයිස් පලම් මේ.. මෙහාට ගේන්න..." යැයි ඈ කියන විටත් බයිසිකළය කජුවත්තට ඇතුළු වී හමාරය.

අයිස් පලම් කාරයාගේ නළලට වැටුනු කෙස් රොදෙන් ගැලූ දහදිය දෙකම්මුල් අගින් ගලා ගියේය. ඔහු හැඳ සිටි ලා නිල් පැහැ කමිසයද දහදියෙන් පෙඟිලාය. මුව පුරා සිනාසුනු ඔහුගේ දෑසේ විවෘත අහිංසක බවක් රැඳිනි.
" අයිස් පලම් කීයද ?"
" පහයි නෝනා"
" එකක් දෙන්නකෝ"
" මොන පාටද ? කොළ ?  රතු ? කහ?"
" රතු එකක් දෙන්නකෝ"
" චෙරි රස නෝනා"
සුරම්‍යා ගෙතුලට ගොස් හැඹිලිය ගෙන එන විට අයිස්පලම් කාරයා අයිස්පලම දෑතින්ම අල්ලා ගෙන ඉස්තෝප්පු පඩිය මත සිටියේ දේවාලයකට ඇතුළු වන බැතිමතෙකු ලෙසිනි.
බයිසිකළය මිදුලේ සෙවන ඇති තැනක සිටුවා තිබිණි. එහි පිටු පස බැඳි පෙට්ටියේ සුදු පසු බිමක නිල් පැහැ අකුරෙන් "තුෂාර අයිස් පලම්" කියා ලියා තිබිණ.

අයිස් පලම අතට ගත් සුරම්‍යා පහේ කාසිය මිනිසා අතට දුන්නාය.ඔහු කාසිය දෑතින්ම ගෙන ඇඟිලි  ඇට කඩා හඬක් නගා එය කමිස සාක්කුවේ ලා ගත්තේය.සුරම්‍යා අයිස් පලමේ කෙළවරක් හපා එහි සීතලත් පැණි රසත් වින්දාය.
" කොහේ ඉඳලද එන්නෙ ඔයා?"
" දෙල්කඳ හන්දියේ කඩේ ඉඳල"
" ඔහෙන් ටිකක් වාඩි වෙන්නකෝ " තරුණයාගේ කඩිමුඩිය දැක සුරම්‍යා කීවාය. " මොකද්ද න?"
" පියල්... නෝනා"
ඔහු කතා කළ සැටියෙන්ද ඔහු හැසිරුණු ආකාරයෙන්ද ඔහු මන්ද බුද්ධිකයෙකැයි සුරම්‍යාට වැටහුණි.
" පියල්ට හොඳටම මාන්සී වගේ"
" ඔව් නෝනා"
"ඉන්න මං බොන්න මොකුත් ගේන්න"
" වතුර ටිකක් ඇත්නම් අගෙයි නෝනා"
සුරම්‍යා ගෙට ගොස් ගෙන ආ වතුර වීදුරුව පියල් එක හුස්මට බීවේය. වීදුරුව ආපසු දුන් ඔහු දෑත සරමේ පිසදා පිල් පඩිය මත හිඳ ගත්තේය.
"පියල් ඉන්නෙත් දෙල්කඳද ?"
"ඔව් නෝනා"
" කා එක්කද ?"
" අම්මා එක්ක.. අපේ නංගි බැඳල ගියා මහර පදිංචියට.
එයා තමා මැහුම් මහලා සල්ලි හෙව්වේ. මං අම්මට කිව්වා මට පුළුවන් කියල රස්සාවක් කරන්න." පියල් වරින් වර ගොත ගසමින් කතා කළේ පොඩි ළමයෙකු ලෙසිණි."අම්මා ඒ පාර ණයක් අරන් මට  බයිසිකළේ අරන් දුන්නා. අද තමයි මං මුලින්ම මේ අයිස්පලම් විකුණන්න අවේ."
" ලාබද පියල්?"
"ගොඩක් විකුණුවා.රේල් පාර ළඟදි බස් එක නැවතුනාම ඒකේ ළමයි හැමෝම වාගේ ගත්තා"
" ෂා හොඳයිනේ"
"ගණන් බලන්නෙ කඩේට ගිහින් තමයි. මුදලාලි මට කොමිස් එක දෙනව"
"පියල්ට ගණන් පුළුවන්ද ?"
"පුළුවන් නෝනා... මං ඉස්කෝලේ නම් ගියෙ එක  අවුරුද්දයි" පියල් නැගිට සරමේ දූවිලි පිසදා " මං එහෙනං යන්නං නෝනා" යි කීවේය.
"හොඳයි.. ආයෙත් එන්නකෝ"
" වතුර එකට පිං.. නෝනා"  බයිසිකලයට නගින්නට පෙර පියල් මුව පුරා සිනාසී කීවේය.

ගෙතුල දුරකතනය නාද විය. " වදේ" කී සුරම්‍යා ගෙතුලට ගියාය. කතා කලේ  විජිතය.
"මං ඔය පැත්තෙන් එනවා හවස් වෙලා.. ඔයා ගෙදර ඉන්නවද ?" ඔහු රහසෙන් මෙන් ඇසුවේය.
"අනේ විජිත මං මේ පන්සල් යන්න ලෑස්ති වෙනවා" සුරම්‍යා කතාවක් ගෙතුවාය.
"මාත් එන්නම්.. ජීප් එකේ යමු"
"නැන්දලා එක්ක යන්නේ" කී සුරම්‍යා සාවනාව තැබුවාය.තමාට ගැලවීමක් නැතැයි ඇයට සිතුනි.රෑ බෝ වෙත්ම ඈ දොර කවුළු වසා , ඉදිරි කොටසේ පහන් නොදල්වා ගෙයි පසු පසට වී සිටියාය.රෑ යමක් වෙනතුරු ඈ ඉන්දුමතී සමඟ රූපවාහිණිය නැරඹුවේ වැඩි හඬක් නො නැගෙන්නටය. පාරෙහි වාහනයක් ගමන් කළ හැම විටම ඇගේ හද ගැස්සිණි.

රාත්‍රියේ දෙගොඩ හරියේ හේන් පිට්ටනියට එහා අතු පැළකින් අඳෝනා හඬක් ඇසිණි.සුරම්‍යා දොරක්වත් හැර බැලුයේ නැත.පසුවදා ඇයට ආරංචිය ලැබිණ.
ඊයේ පිට්ටනියේ සෙල්ලම් කළ දරුවෙක් රාත්‍රියේ හදිසියේ මිය ගොසිණි. සුරම්‍යාට හරි හැටි තොරතුරක් දැන ගන්නට නොලැබුණද ඇසිලින් අක්කාගේ පැල්පත ඉදිරියේ සුදු කොඩි දමා ඇති සැටි පෙණිනි.ඒ අහට ගිය ඉන්දුමතී තවත් විස්තර සොයා ගෙන ආවාය.ඇසිලින් අක්කාගේ පුතා විනී රාත්‍රියේ උදරාබාධයකින් මිය ගොසිණි.සුරම්‍යා හේන් පිට්ටනියේ ජීවත්වෙන දුප්පතුන් ඇසුරු කරන්නියක් නොවේ.කජු වත්තේ අළුත් ගෙයත් , හේන් පිට්ටනියත් වෙන් කරන ගුරු පාර මහා දිය අගලක් මෙනි.

එදා දවල්ද දුරකතනය නාද විය. විජිතගේ කට හඬ රහසක් මෙන් ඇසිණි. " මං හවස ඔය පැත්තෙ එනවා" ඔහු ආදරයෙන් කීය.
" මොකටද ?"
" කතා කරන්නනේ.."
" මට මළ ගෙදරක යන්න තියෙනවා විජිත.. එහා වත්තෙ ළමයෙකුගෙ"
" එහෙනං හෙට?"
" බලමුකෝ..."
සාවනාව තැබූ සුරම්‍යා ඒ අසළම වූ ආනන්දගේ සේයා රුව දෙස බැලුවාය.
ඔහුට හැරෙන්නට වෙන කිසිවෙකුට ආදරය  පුද කරන්නට ඇගේ අදහසක් නොවීය.
දහවල නින්දට වැටුණු ඈ ඇහැරුනේ තවත් ගාලගෝට්ටියක් අසමිනි. ඉස්තෝප්පුවට ගිය ඇයට කීප දෙනෙකු කාටදෝ තඩි බානු පෙනිනි. හවස ගලා එන අඳුර අතරේ කිසිවක් හරි හැටි පැහැදිලි නොවීය, ඉන්දුමතීද පේන අහලක නොවීය.මළ ගෙදර සුදු කොඩි අඳුරේ විළිස්සෙනු පෙනිණි. කවුදෝ කජුවත්ත අතට දුව ආවේය.හේන් පිට්ටනිය මැද කැඩී වැටුනු බයිසිකළයක් විය.ඒ අසළම පෙරළුනු අයිස්පලම් පෙට්ටියයි. දුව ගිය අඩි හඬ පිළිකන්නේ නතර විය. " නෝනා... නෝනා..." කියන හඬ අසමින් සුරම්‍යා ඒ අතට ගියාය. හිසින් ලේ ගලමින් , බිය රැඳි දෙනෙතින් බලා සිටියේ පියල්ය. 
" මේ මොකද පියල්?" "මං... ම.. ම.. මට ගැහුවා.. නෝනා මාව හංගන්න.. නෝනා.." වැඩි විස්තර නො අසා පියල්ව ඇතුළු ගෙට ගත් සුරම්‍යා ඔහුට ඇඳ යටට රිංගන්නැයි කීවාය.පියල් දියෙන් ගොඩ ගත් මාළුවෙක් සේ ගැහෙමින් වෙව්ලයි.ඉදිරි දොරට ගසන හඬ අසමින් සුරම්‍යා එහි ගියාය. හේන් පිට්ටනියේ ගණන්කාරයෝ දෙතුන් දෙනෙක් පොලු මුගුරු අතැතිව බලා සිටියහ.
" අරූ මෙහෙ ආවද නෝනා?" 
" කවුද?" "
 අයිස්පලම් කාරයා?"
 " මං දැක්කෙ නෑ" "කජුවත්තට තමා දුවන් ආවෙ" 
"මේකෙ ඕනෑ තරම් ඉඩ නැතෑ හැංගෙන්න"....."ඕකා මිනී මරුවෙක් නෝනා... " එකෙක් රළු හඬින් කීය. "අපේ විනී මැරුනෙ අර ජරා අයිස් පලම් කාලා..." "ඕකව අල්ලල හම ගහනවා.. කොහේ හදන ජරාවද කවුද දන්නෙ ? අනේ විනී කොළුවා.. බඩේ ගාය හැදුනේ අයිස්පලම් කෑවට පස්සෙ" ගණන් කාරයෝ නොයෙක් දේ කියමින් අඳුරට ඇවිද යනු ඇසිණි.   සුරම්‍යා නිදන කාමරයට ආවාය. පියල් තවමත් ඇඳ යට ගුලිවූ ගමන්මය. 
"පියල්..." 
" නො... නො.. නෝනා." ඔහු යන්තම් හිස පිටතට ලා බිය පිරි දෑසින් බැලුවේය. ඒ දෑසේ රැඳෙන්නේ බයාදු අහිංසක බැල්මකි. " ම.. ම... මං කාවත් මැරුවෙ නෑ.. නෝනා. ළමයෙක් මලාලු.. අයිස්පලම් කාලා. මගෙ බයිසිකළේ කැඩුවා.. සල්ලි ගත්තා.. මට ගැහුවා..." පියල් ඉකි බිඳිමින් අඬන්නට විය." " අඬන්න එපා පියල්.. එන්න මං ඔය තුවාලෙ හෝදන්න" පියල් බියෙන් සැකයෙන් ඇඳ යටින් පිටතට ඇදුණි.ඔහුගේ ඉරුණු කමිසයද ලෙයින් නැහැවී ගොසිණි. " ම.. මට ගෙදර යන්න ඕනෑ.. නෝනා. අම්මට මං ණය ගෙවන්නෙ කොහොමද ? බ..යි..සිකලේ...." " අඬන්න එපා පියල්.. මං පියල්ව බේර ගන්නංකො.." පියල්ගේ හිසේ තුවාලය සේදූ සුරම්‍යා ඔහුගේ හිස වෙලුම් පටියකින් බැඳ ඔහුට කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බා දුන්නාය.කජුවත්තේ ඇවිද ගිය ගණන්කාරයන්ගේ හඬ දැන් ඇසෙන්නේ නැත.රාත්‍රියේ අඳුර ගලා සියල්ල කලු තිරයකින් වැසිලාය. සුරම්‍යා හිතට දිරි ගෙන දුරකතනය වෙතට ගොස් පොළිස් කාර්යාලයේ නොම්මරයට කතා කළාය.
 "ඉන්ස්පෙක්ටර් විජිත.." 
" සුරම්‍යා...? මේ සුරම්‍යාද?" විජිතගේ කට හඬ සතුටකින් ගැස්සින.
 "ඔව්.. ඔව්.. සුරම්‍යා තමා.. ඔයා අද රෑ එනවද විජිත?"
 "ඔයා කියනව නම්...."
 " මට පොඩි උදව්වක් ඕනෑ. ජීප් එකෙන් කෙනෙක්ව ගිහින් ඇරලන්න."
 " මං එන්නම්.." 
"රෑ වෙලා එන්න විජිත" කී සුරම්‍යා ලොකු සුසුමකින් ලය සැහැල්ලු කර ගත්තාය. "පියල්.. මං පියල්ව බේර ගන්නම්කෝ" ඈ කී ඒ වදනට පියල්ගේ දෑස් පුරා කඳුළු පිරුණි. පියල්, "අනේ නෝනා බු.. බුදු වෙනවා" යි ගොත ගසමින් සුරම්‍යා ළඟ වැඳ වැටුනේය. ඔහු වෙනුවෙන් තමා කරන පරිත්‍යාගය සිහි ගැන්වී සුරම්‍යාගේ දෙනෙතටද කඳුළු පිරුණි. ඔහුගේ ජීවිතය බේරා ගන්නට තමා ගත් ක්‍රියා මාර්ගය නිවැරදියැයි කියමින් ගැලූ සතුටු කඳුළක්ම විය ඒ කඳුළ...

නිමි.


භද්‍රජි මහින්ද ජයතිලක