හරි දැක්ම


දුව:
කුමටද අම්මේ බොරුවට දුක් වන්නේ
අක්කා ගිය තැන සතුටින්නේ ඉන්නේ

අප ගැන සිතලා කම්පා වනු මිස
ඇය සිත පිරිලා ආදරයෙන්

අම්මා:
පොඩි දුව දන්නේ මොනවද ඇත්තට
අපෙ වංසෙට ඔහු ගැලපෙනු කෙලෙසද
පවුලේ නම්බුව කෙලෙසා කර ගත්
මංගල්ලේ අවමංගල්ලේ
මගෙ පණ ඇති තෙක් වද්දා ගනු බැහැ
දෝණි වුනත් මගෙ කුසින් වැදු

දුව:
කුල මල වස්තුව සම්පත් සොයලා
අය්යට බැඳ දුන් නපුරු ලේලියට
යටවී කොටුවී වංසෙ කබල් ගා
නැන්දා දුක් වෙනවා
මිනිසත් කම නැති නම්බුව හරියට
බම්බුවකට සම කල හැකි පමණය
අක්කගෙ සිතුවිලි ගති පැවතුම් හා
ගැලපෙන කුමරෙක් ඇය සතුවී ඇත
අම්මගෙ ආසිරිවාදය විතරයි
ඇයගේ දිවියට අඩුපාඩු

අම්මා:
පුහු මාන්නෙ හිසේ තියන් - ඉහිලුම් නැති බරක් දරන්
මහ පොළවට පය නොතබා - උන්නේ මං අද වෙනකම්
නහින දෙහින කාලෙ වුනත් - දුක දොම්නස අයින් කරන්
සැනසීමෙන් දිවි ගෙවන්න - ඉගෙන ගත්තෙ පොඩි දුවගෙන්
ලොකු දුවෙ මට සමා වෙලා - අතීතෙ අමතක කරලා
බෑණත් මුණුපුරත් කැටුව - ගෙදර වරෙන් මා බලන්න.


කළ්‍යාණි  මාකලන්ද


************************************************************************


(අප සමඟ දිගු කලක් ජීවත් වූ, අප සමාජයට විශාල සේවයක් කළ සුනේත්‍රා සරච්චන්ද්‍ර වෙනත් ප්‍රාන්තයකට පදිංචියට යන බව ඇසූ විට මගේ සිතට දැණුනු දේ අකුරු බවට පත් වූ හැටි.)

ඔබ යන්න ගියාම මට දුක හිතෙයි...


එති

යති
ආවෝතින් යා යුතුය
නොගොස් ඉන්ට බැරිය
අප ආසා කළ කුසුමලතා
අප කරා ආවාය
අත පොවන්නට බැරි මානයේ උන් ඇය
අපට  අල්ලන්නට හැකි විය
අපට ඇය සිප වැළඳ ගන්නටද හැකි විය
ඇය ආපසු යන බව අසා
කෝපයක්ද
දුකක්ද
ශෝකයක්දැයි
වෙන් වෙන්ව හඳුනා ගත නොහැකි
සිතිවිල්ලකින් ම' සිත වෙලී යයි
ඒත් ඉතින්
ආවෝතින් යා යුතුමය.. 


නිවීර