කාලීන

එකක් ඉවර වෙන කොට තව එකක්. ඒක ඉවර වෙන කොට තව එකක්. මේවට නොගිහිනුත් බෑ. මේවා සංවිධානය කරන්නේ හොඳට දන්නා කියන අය නිසා.

මේ ෂෝස් බලන්න එන අය කවුද ? අපි මෙහෙම බෙදල වෙන් කරමු.

1) ෂෝ එක පටන් ගන්නට පෙර බෙදා දෙන පොත් පිංචට ( souvenir) එකට දැන්වීම් ලබා දෙන අය.
2) පොල් තෙල් පහන දැල්වීමට එන ආරාධිත අමුත්තන් සහ පවුලේ අය
3) VIP ලා
4) සංවිධායකයන්ගේ සහ ටිකට් විකුණන අයගේ පුද්ගලික දැන ඇඳුනුම් මත එන අය
5) ඇත්තටම කලාවට ආදරය කරන අය
6) ඊයේ පෙරේදා ලංකාවෙන් ආ අය.

තව කට්ටියක් ඉන්නව දුම් ගහලවත් ගෙවල් වලින් එළියට ගන්න බැහැ. මොකක් හරි හේතුවක් හොයා ගෙන නෑවිත් ඉන්නම බලනවා.

එහෙම අය කියන දේත් මේ විදියට බෙදා වෙන් කරමු.
1) අපෝ අරයද කරන්නේ? කවදාවත් මූණ බලල හායි කියන්නේ නැහැ
2) අපෝ එයා අපේ එකට ආවෙ නැහැ
3)  ඩොලර් 40 ද ? හොඳටම වැඩි
4) ඩොලර් 20 ද ? එහෙනම් මළ ජරාවක් වෙන්න ඇති
5) ඔය ඕන තරම් යූ ටියුබ් එකේ තියෙන්නේ. කණ පැලෙන්න දෙකක් දා ගෙන ඇඳේ ඉඳලම බලන්න පුළුවන් එකේ....?

අවුරුදු 10 න් පහළ අයට FR‍EE.  10 න් පහළ උන්ට මෙලෝ හසරක් තේරෙන එකක් යැ. ඇවිල්ල ඈණුම් ඇර ඇර ඉඳී.

10 න් ඉහළ අයට බෝරිං. උන් ඇවිල්ල එළියට වෙලා ඉඳී
හොඳ වෙලාවට අපේ ගෙදර දෙන්නයි . මමයි. එයයි. ඒත් ඉතින් ඇඳන් යන්න ඇඳුනුත් එපායැ.
" අනේ මට නම් බෑ මේක අඳින්න. ගිය පාර ෂෝ එකටත් ඇන්දා.. මිනිස්සු හිතයි අපි බංකොලොත් කියල. මට අළුත් අඳුමක් ඕන.. macy's එකෙන් ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එකට. ඇඳල පහුවදාට රිටන් කරන එකනේ..."

ඊළඟට ඇඳුමට මැච් වෙන්ට සපත්තු. හෑන්ඩ් බෑග්.

නි  ෂා  දි  ගාවට ගිහින් කොණ්ඩෙ හදන්න ඕන. ෆේෂල් එකක් කරන්න ඕන.
පිරිමි අපිට නම් අමුඩයක් හරි ඇඳල ඊට උඩින් ජැකට් එකක් දැම්මාම හරි.

කොහොම හරි ගියා කියමුකෝ...


" මේ කාර් එකේ හැටි බලන්නකෝ.. හෝදලවත් නෑ හරියට. හෝල් එක ගාව නම් නවත්තන්න එපා. අර ඈත ගහ යට. එක්කොත් එපා.. මේ හයි හීල්ස් දාල ඔච්චර ඈත ඇවිදින්න බෑ."


ඊ ළඟට ඉන්ටවල් එකට.. සීතල වෙච්චි කට්ලට් එකයි පැටිස් එකයි.  කැරට් බීට් එකට අඹරල මැද්දට දාපු සැන්විච් එකටයි  ඩොලර් 5 යි. දෙන්නට 10 යි ඒකත් ගන්නම ඕන. නැත්නම් අනික් අය කන කොට ඉරිසියා  හිතෙනව.


ටිකට් දෙකට 60. යි කෑමට 10 යි.  සේරම ඩොලර් 100 පනිනව. costco එකෙන් මාස තුනක් කන්න බඩු ගන්න පුළුවන්.


මේ සේරම ඇත්ත කතා.

ඒ නිසා සංවිධායක නෝනා වරුනි.. මහත්වරුනි.. සේරම එක තැනකට එකතු වෙලා.. කතා කර ගෙන මේ ෂෝස් අවුරුද්දකට දෙකක් හරි තුනක් හරි කරමුද ?

ඔහෙලටත් ලාබයි. අපිලටත් ලාබයි.


නිවීර.