කාලීන Politics Poems කතා පිටුව Jokes කටට රසට
අපේ ළමයි Kids' Corner ගීත කතන්දර Advertisements HOME

                                                        පිස්සු හැදෙන සඳ



වෙලාව රෑ 11 ට විතර ඇති. මට නින්ද ගියේම නෑ. මම නිදන කාමරයේ කවුළුව ඇර දැම්මා.

හඳ ලොකුවට පායල තිබුනා. මම ගමේදි නං මෙච්චර ලොකුවට හඳ දැකල නෑ. හැබෑවටම ලොකුයි. අල්ලන්නත් පුළුවන් වගෙයි. මුළු ලොවම නිදි. අවදියෙන් ඉන්නෙ මා විතරක් වෙන්න ඇති. කුමක් හෝ හේතුවකට නින්ද යන්නෙම නෑ. ගහ කොළ නිසළයි. හුළං පොදක්වත් වත් නෑ.

” ඇයි නින්ද යන්නෙ නැද්ද ?” එයත් ඇහැරලා.
” තේ හදන්නද ?”
” එපා”
” කෝපි ?”
” ඒත් එපා”
” එහෙනං .. වෙන මොනවද ඕන ..?”
” මට ඔයාගෙ මූණ දිහා බලා ගෙන ඉන්න දෙනවද ?”
” පිස්සු “

හරියටම හරි.. මට පිස්සු. හඳ මෝරන කොට පිස්සු හැදෙනව. හඳ තියෙන කාලෙට මූදෙ වතුර මට්ටම වැඩි වෙනව. ඒ ” වඩ දිය “ High Tide. මොලෙත් පිරිල තියෙන්නෙ තරලයකින්. අපි ඉගෙනගත්තෙ ” මෂ්තිෂ්ක තරලය ” කියල ඒකට. එහෙමනං හිසේ තියෙන තරලයටත් හඳේ බලපෑමක් ඇති. රුසියන් භාෂාවෙන් ” ලූනා” කියන්නෙ හඳට. අර ඉස්සර රොකට් එහෙමත් ඇරියෙ ලූනා 1 කියල. ඉන්ග්‍රීසියෙන් ” ලුනසි ” Lunacy කියන්නෙ පිස්සුවට. එකත් එකටම මම හරි.
පෙණහල්ලෙත් තියෙනව තරලයක්. ඒ ප්ලූරා තරලය. ඇදුම තියෙන අයට රෝගය වැඩිවෙනව කියන්නෙ හඳ තියෙන කාලෙට එහෙනන් ඒකයි.
ඉස්සර අපි අහනව කෙල්ලන්ගෙන් මූණ එල්ල ගෙන ඉන්නකොට ” මොකද රාහු ගිලල වගෙ ?” කියල රාහු හඳ ගිල්ලාම කළුවරයි.
හඳ රාහු මුඛයේහි ගිලිලා වගේ – සිංදුව කිව්ව කාලෙ මං ඉපදිලත් නෑ.
” අම්මි.. කොහොමද අපි මේ ලෝකෙට ආවෙ?” කියල අහපුවම අම්මලා කියන්නෙ හඳහාමි ගෙනත් දුන්න කියල. පුංචි එවුන් හඳට කිව්වෙ හඳ මාමා කියල නැත්නම් හඳහාමි කියල. ඒත් නැත්නම් අම්බිලි මාමා කියල. හඳ හාමි ළඟ කිරි පැණි තියෙනව.
මගෙ දුව දවසක් කියනව.. හඳ ගොඩා…ක් ලුකුවට රවුමට එනකොට අත්තම්ම සිල් ගන්න යනව කියල”
සිංහළ ගීත කීයක් ඇද්ද හඳ ගැන කියැවෙන. කවියො ගෑණුන්ගෙ මූන හඳට උපමා කරනව, ” සිසි” කියන්නෙ හඳ. ” සිසිවන වුවන” සැළලිහිණි සංදේශයේ දැක්වෙනව.අපේ කාලෙ පෙම්වතුන් හමු වෙන්නෙ හඳ පානෙ. ” චන්ද්‍රා මෙ රෑ පාය ආවා – හර්දේ පෙමින් නාව නාවා”
සමහරු දිවුරන්නෙ ” ඉර හඳ ” පල්ල කියල. මං ඔයාට ආදරෙයි. කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. ඉර හඳ වගෙ විශ්වාසයි ඒක.  (මාත් කීප දෙනෙකුටම ඔහොම කියල තියෙනව ) රාජසිංහ රජ්ජුරුවො අපෙ කිරි කිත්ත කෙනෙකුට දීපු ඉඩමක ඔප්පුවක තියෙනව ” ඉර හඳ පවතිනා තාක් කල්” ඒ ඉඩම බුක්ති විඳින්න පුළුවන් කියල.ඉරත් හඳත් ඇතුළු ආකාශයේ තියෙන අද්භූත වස්තු ඉස්සර කාලේ හැඳින්වුනේ දෙවිවරුන් හැටියට. හඳ නම් වෙනස් වුනා. හඳ තවදුරටත් දෙවි කෙනෙක් නෙවේ. මිනිස්සු පය ගහපු තැනක්. ඉරේ තියෙන්නෙ චන්ඩ හිරු කිරණ. ඒත් හඳේ තියෙන්නෙ ” සොමි ” කිරණ , සොමි කියන්නෙ සෞම්‍ය කියන එක.

මේ ගීය සෞම්‍ය චන්ද්‍රා ගැන.
නිවීර