විශේෂාංග      කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් Contact Us

ඈත අතීතයේ රජ දවස රූප සම්පත්තියෙන් පොහොසත් තරුණියන් තෝරා , ඔවුනට තෑගි බෝග ලබා දී පසුව ඔවුන් රජුන්ගේ අන්තඃපුරයට ගන්නා බවත්  කතා වල සඳහන් වෙනවා.

මේ රූප සුන්දරියන් සතුව ලක්ෂණ 5 ක් තිබිය යුතුය. ඒවා පංච කළ්‍යාණ කියා හඳුන්වනවා.

1. දන්ත කළ්‍යාණය. ( දත් ටික ලස්සනට පිළිවෙලට තිබීම )
2. ඡවි කළ්‍යාණය (සම පැහැපත් වීම. පැහැපත් කියන්නේ සුදු නොවේ. සමේ ලප , කැළැල්    නොතිබීම )
3. කේශ කළ්‍යාණය (කොණ්ඩය නිරෝගීව , ප්‍රමාණවත් තරමට දිගට තිබීම )
4. මාංශ කළ්‍යාණය (ඇඟපත පිරිපුන්ව තිබීම. වෙනත් වචන වලින් කීවොත් කටු ගොඩක්    නොවීම )
5. වයඃ කළ්‍යාණය (කොපමණ වයසට ගියත් ලාබාල පෙනුම තිබීම )

Google පවසන විදියට පළමු රූප සුන්දරී තරඟය වාර්තා වෙලා තියෙන්නේ 1859 ස්කොට්ලන්තයෙන්.

මෙම තරඟ වලින් ජය ගන්නා සුරූපියන් සල්ලි උල්පත්ය. ඇඳුම් මෝස්තර කොම්පනි වලට , සුවඳ විලවුන් - - කාන්තා ඇඳුම් - කොම්පනි වලට සල්ලි මවන මැෂින්ය.

මා කුඩා කළ අපේ ගමේ අවුරුදු උත්සවයදාද අවුරුදු කුමාරි තරඟයක් විය. එවිට මගේ වයස අවුරුදු 5 ක් පමණ වූවා විය හැක. මගේ නැන්දාවක්ද තරඟයට ඉදිරිපත් වූවාය. ඈ උසේ තරමට මහතය. පැහැපත් සමක්ද දිගු කෙස් කලඹක්ද විය.  මල් මල් චීත්ත රෙද්දක් හැඳ " ඔබේ තීරය" තබා බෝරිච්චි හැට්ටයක් හැඳ ඇට මාලයක්ද පැළඳ සිටියා මට මතකය.
එහෙත් දිනුවේ සාරියකින් සැරසී , ගස් මුට්ටියක් වැනි කොණ්ඩා මෝස්තරයක් දමා සිටි වෙනත් අඟනකි.
අපේ අම්මා කීවේ " ඔය තෝරල තියෙන්නේ පන්දමට " කියාය.

මෙවන් තරඟ වලින් දිනන අය පමණක් නොව තරඟයට ඉදිරිපත් වී පැරදුනු අයද ඇවිදින්නේ අඟලක් දෙකක් උඩින්ය. බිම බලන්නේ ඈතින්ය.

2015 අප්‍රේල් 11 වූ  Woodley පාක් එකේ පැවති අවුරුදු උත්සවයද කුමාරි තරඟයකින් ඔපවත් විය.
කෙල්ලන්ට වටයක් ඇවිද යාමටත් , තමන් කැමති දක්ෂතාවයක් පෙන්වන ලෙසටත් නියම විනි. කෙල්ලන් වැඩි දෙනෙක් හින්දි ගී සින්දු වලට වේග රිද්මයට ඇඟපත සෙවූය. ඊයේ පෙරේදා ඇමරිකාවට ගොඩබට තරුණියක්ද තරඟ කළාය. ඇයට දිගු කෙස් කලඹක්ද , පැහැපත් සමක්ද , මනාව පිහිටි දත් දෙපළක්ද විය.

කිසිම සංගීත භාණ්ඩයක හඬක් නැතුව රිදී කාසි සැලෙන හඬින් ඇය ගැයූ "නාන විලේ" කවිය ජන කවියක්ද , පාරු කවියක්ද, පැල් කවියක්ද කියා , කියන්ට දන්නේ විනිශ්චය මණඩලයේ සිටි සංගීත ගුරුතුමිය පමණය.

සිංහළයාගේ සංස්කෘතික උළෙලකදී  හෙළ ඌරුවට සළු පිළි හැඳ ජන කවියක් ගායනා කළ ශලිනි දුවට  දෙවැනි තැන තබා තුන්ව තැනවත් නොලැබිණ.

දුවේ.. ලබන අවුරුද්දෙත් එනවා නම්  තේරුම නොදන්නා හින්දි සිංදුවකට නටන්ට ඉගෙන ගෙන වරෙං.

HOME PAGE