දෝන කුසුමාවතී

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
www.nishadibridalcreations.com
*****************************************
දෝන කුසුමාවතී - 5 වන කොටස

"ඩිෂුම්....ඩිෂුම්.."
සිරිමල් තනිවම කාටදෝ පහර දුන්නා. බිම ඇද වැටුනා. ආයෙම නැගිට පහර එල්ල කළා. කෙසෙල් පැලයකට පා පහරක් එල්ල කළා.
" ඩිෂුම්... ඩිෂුම්.."
බේබිනෝනා තම මුණුබුරාගේ සුරතල් විලාශයන් බලා ගෙන හිටියා.
"මොකද පුතේ කරන්නේ?"
" ආච්චි අම්මේ මම තමා ගාමිණී පොන්සේකා.."
"කවුරූ...?"
"අපි බලපු පිචර් එකේ ගාමිණී තනියම හතර දෙනෙකුට ගහනවා... දුවන්ට... ඩිෂුම්... ඩිෂුම්"
"මොන පිචැර් එකේද?"
"අම්මයි,මමයි ලයනල් අන්කලුයි ගිය සතියේ බලපු එක"
"ඩිෂුම්"
එහෙනම් මේ ගමේ උන් කියන කතාව හරි. කුසුමාවතී සිනමාහලකට ඇතුළු වෙනවා ගමේ එකෙක් දැකල තියෙනවා.
" ආච්චි අම්මේ... ඒ අන්කල් හරී හොඳයි"
*********************************************************************************
ගේ ළඟ හෝල්ට් එකේ බස් එකක් නැවැත්තුවා.
"ආං තාත්තා එනවා"
සිරිමල් ගෙට දිව ගියා.
විල්සන් මේ ගෙදර එන්නේ අවුරුද්දකට විතර පස්සෙ. කාඩ්බෝඩ් පෙට්ටියක් පිරෙන්නම අඹ . කරත්ත කොළොම්බන්.
"අඹ ඉදෙනකන් හිටියද ගෙවල් දොරවල් මතක් වෙන්න ?" කුසුමාවතී මවා ගත්තු සිනාවකින් ඇහුවා. විල්සන් රත්තරං දත යාන්තමට පෙන්නලා හිනා උනා.
" ආ.. මේ සල්ලි ටික අරන් තියන්න වියදමට"
" අම්මේ.. අපි පෘට් සැලඩ් හදමු..."
කුසුමාවති විගැහින් සිරිමල්ගෙ කට වැහුවා.
තවත් රාත්‍රියක් උදා උනා. සිරිමල් ජනේලය ළඟ සුපුරුදු ඇඳේ. අම්මයි-තාත්තයි එහා ඇඳේ. අද සිරිමල්ට සතුටුයි. හෙට ඉස්කෝළෙ ගිහින් කියන්න ගොඩක් දේ තියෙනව. තාත්ත ආවා. අඹ ගෙනාවා. ඒත් සිරිමල්ට නින්ද නම් ආවේ නැහැ. අදත් කවුරුහරි ජනේලෙට තට්ටු කරයිද ? අම්ම දොර ඇරගෙන එළියට යයිද ? තාත්ත , ගාමිණී පොන්සේක වගේ ජනේලෙට තට්ටු කල අයත් එක්ක පයිට් කරයිද ? ඒ වගේ සිතිවිලි ගොඩාරියක්.
කාමරේ ලාම්පුව නිවල තිබුණට කොහෙන්දෝ ආ එලියක් කාමරේට වැටිල තිබුණ.
"නිකම් ඉන්න... ළමයත් තාම නිදි නෑ." රහසෙන් නමුත් සැරෙන් අම්මා කී දේවල් සිරිමල්ට හොඳට ඇහුනා.
සිරිමල් හිස් කෙලින් කරල ඒ දිහාව බැලුවා. තාත්තා අම්මගේ අතක් වැරයෙන් අල්ලා ගෙන පොර බදන බවක් සිරිමල් දැක්කා.
සිරිමල්ට කෑ ගැස්සුනා. " අම්...මේ...හ්"
" අම්මේ.. මේ මිනිහ මං මරන්න හදනව.." කුසුමාවතී අල්ලපු කාමරේට ඇහෙන්ට කෑ ගැහුවා.
" තිරිසන් වැඩ කරනවා. පොඩි එකත් ඉස්සරහ පිට.. පුතේ උඹ මේ කාමරේට වරෙන්.."
සිරිමල් කොට්ටෙත් ඇදගෙනම ආච්චි අම්මා සහ සීයා ඉන්න අල්ලපු කාමරේට දිව්වා.
සිරිමල් අවදි වෙන විට අම්මත් තාත්තත් අවදි වෙලා. කවුරුවත් ඉකුත් දා රෑ සිදු වූ දේවල් ගැන කිසිවක් කතා කළේ නෑ.
" පුතේ.. තාත්තගෙන් අහන්න.. කවදද යන්නෙ කියල"
පුතා තාත්තගෙන් ඇහුවා.
"ඒක තමා.. මං එනවට කැමති නෑනෙ. ආවම කවදද යන්නෙ අහනවා. එන්නැති කොට වැඩ කරන තැනට හොයන් එනවා. පුදුම කරුමයක් මේක"
විල්සන් තවත් දවස් දෙකක් ඉඳල ආපහු ගියා. ආයෙ කවද්ද එන්නෙ කියලා කවුරුවත් ඇහුවේ නැහැ. අඩු තරමින් සිරිමල්වත්.
*********************************************************************************
" අම්මේ මං කොහොමද මේ ගෙදරට ආවෙ ?" දවසක්දා සිරිමල් ඇහූ ප්‍රශ්නෙට ඈ කීවේ, අපිට පුතා සුරංගනාවියක් ගෙනත් දුන්නා කියලයි.
දෙවි කෙනෙක් ගෙනත් දුන්නා. රෝස කැලෙන් ඇහින්දා වගේ කතා පිළිගන්න සිරිමල් තව දුරටත් පොඩි එකෙක් නොවේ. ගමේ ඉස්කෝලෙ 5 වැනි පන්තියේ. වයස අවුරුදු 10 යි. එකම පන්තියේ පේල් වෙවී හිටපු ඇට්ටර කොල්ලො කියල දුන්නෙ පොඩි ළමයි එන්නෙ අම්මගෙ බඩ අස්සෙන් කියලයි. ඒත් බඩ ඇතුළට යන විදිය ගැන පැහැදිලි අදහසක් තවම ලැබුණේ නැහැ.
ඒ කොයි හැටි වෙතත් තම මව වෙනත් පිරිමි සමඟ බයිස්කෝප් බලන්න යන එක නම් වැරදි වැඩක් බව සිරිමල්ට තේරුම් ගොස් හමාරයි. ඒත් තාත්තා ගෙදර එන්නෙත් නැහැ. අම්මා තරහ කර ගෙනත් බැහැ.
දවසක් අම්මයි අන්කලුයි එක්ක සිරිමල් බයිස්කෝප් එකක් බලන්න ගියා. පස්සෙ කෑම කන්න වෙනත් හෝටලයකට ගියා. එතන අන්කල්ගෙ තවත් යාළුවො කීප දෙනෙක් හිටියා සෝඩා දාල සැර බීම බිබී.
" අම්මේ මට රුපියලක් දෙන්න. මට ගෙදර යන්න ඕන"
කුසුමාවතී ඇස් උඩ තියා ගත්තා. අම්මා ගෙන් රුපියලක් උදුරා ගත්තු සිරිමල් තනිවම බස් එකේ නැගල ගෙදර ආවා.
එදා රෑත් කවුදෝ ජනේලෙට තට්ටු කළා. වෙලාව කීයද කියන්න බැහැ. ආච්චි අම්මත් සීයත් එහා කාමරේ තරඟෙට ගොරවනව. අම්ම දොර ඇර ගෙන එළියට ගියා. සිරිමල්ට තව දුරටත් මේක දරා ගන්න බැහැ.
සිරිමලුත් ඉස්සරහ දොර ඇර ගෙන එළියට ගියා.
" අම්මේ මට චූ බරයී..."
අම්මා දර මඬුව පැත්තෙ ඉඳල සිරිමල් දිහාවට ආවා. කිසිවක් පැහැදිලිව නොපෙනෙන අඳුරක් තිබුනත් ඒ තිත්ත කරුවල නොවේ.
" හා.. චූ කරල යමු නිදා ගන්න . මාත් මේ චූ කරන්න ආවේ"
සිරිමල් ඉස්සර කර ගෙන කුසුමාවතී ගෙට ගියා. සිරිමල්ට විශ්වාස නෑ අම්ම මොකද්ද ඇඳන් හිටියේ කියල. සිරිමල් ආයෙම හැරිල බැලුව.
" යං .. යං.. ඔහොම යං"
*********************************************************************************
එදා වත්තෙ කාවල්කාරයා නිවාඩු. බාලන්ට තමා මුර වැඩේ කරන්න උනේ. දෙකට කඩන තුවක්කුවත් කරේ එල්ල ගත්තු බාලන් වත්ත අයිනේ පාර දිගේ මහ පාරට ආවෙ ගෙදරට ගිහින් තේ කෝප්පයක්වත් බොන්න හිතා ගෙන.
රෑ මැදියම වගේ වෙලාව. කුසුමාවතිලයි ගේ පැත්තෙ ඉඳන් ඡායාවක් පාරට ඇදෙනවා. බස් හෝල්ට් එක දිහාවට. තුවක්කුවක් තියෙන කොට කාටද බය. කිට්ටු කරල බැලුව. කලිසම්කාරයෙක්. ගමේ කෙනෙක් නෙවේ. බාලන් කෑර හූරල තුහ් ගාල කෙල ගැහුවා.
" මහත්තය කවුද ? මොකද මේ වෙලාවෙ?"
" මං මේ විල්සන් අයියගෙ පණිවිඩේකට ආව.. දැන් ආපහු මාතලේ බස් එක අල්ල ගන්න තියෙනව"
" මං මේ ඇහුවෙ මීට කලින් දැකල නැති නිසා"
*********************************************************************************
කුසුමාවතී රත්නපාල සොයා ගෙන බක්කර කඩේට ගියේ එදා විල්සන් දුන්නු සල්ලි වලින් කඩේ ණය පොතෙන් ටිකක් හරි ගෙවා දාන්න හිතාගෙන. අපරාදෙ කියන්න බැහැ පොතේ ණය වලින් වැඩි හරියක් රත්නපාල කපා ඇරල තිබුණා.
" කුසුමෙ මොකද මේ ගමේ මිනිස්සු කියන්නේ පිචර් බලන්න ගිහින් හිටිය කියල කා එක්කද ?"
" මං වෙන කවුරු එක්ක යන්නද ? එදා අපි ගිය එක කවුරු හරි දකින්න ඇති"
" ඒක මිසක්"
" අද එන්නද ගෙවල් පැත්තෙ?"
" අර මක්කටද ?"....කුසුමාවතී ළමිස්සියක් මෙන් කෝමල හිනාවක් දැම්ම. ඊ ළඟට කොණ්ඩ කරලෙ අග්ගිස්ස හප හපා..
" එන්න.. දොළහ පහුවෙලා... අම්මලත් නෑ.. අයියලගෙ ගෙදර ගිහින්"

කුසුමාවතී සිරිමල්ගෙ ඇඳට ගිහින් ඔහුට තුරුලු වී නිදි කරවන්න උත්සාහ කළා. මොන පිස්සුද ? සිරිමල් ඒ නැලවෙන වයස පහු කරල. වයසට වඩා කුරුවල් වෙලා. සිරිමල් බොරුවට නින්දට වැටුනා. බොරුවට නිදා ඉන්න මිනිහා ලේසියෙන් ඇහැ අරින්නෙ නැහැනේ.
චිමිණි ලාම්පුව නිවල තිබුණත් කොහෙන්දෝ ආ එළිය රැල්ලක් කාමරේට වැටිල තිබුණ. කුසුමාවතී සීරුවට දොර ඇරගෙන එළියට ගියා. හෙවනැලි දෙකක් කාමරේට ආවා. කිසි හැල හොල්මනක් නෑ. සිරිමල්ගෙ පපුව ඩිග්-ඩිග් ගෑවා.
" කවුද අම්මේ.. ආවේ ?"
" කවුරුවත් නෑ පුතා.. ඉන්න මං ලාම්පුව පත්තු කර ගෙන එන්නම්" කුසුමාවතී කුස්සියට ගිය අතරේ සිරිමල් ඇඳෙන් නැගිට අම්මගෙ ඇඳයි අල්මාරියයි තියන තැන බිත්තිය අත ගෑවා. සිරිමල්ට අත ගෑවුනා මවිල් තියෙන බඩක් හරි පපුවක් හරි.
" අම්මේ...හ්.. මෙතන කවුද ඉන්නවා..."
" පුතා හොඳ පුතානෙ ..කෑ ගහන්න එපා. ඒ කඩේ මාමා"
" ඉතින් ඇයි මෙහේ ?"
" කඩේට පොලිසියෙන් පැනල. හොර අරක්කු තියෙනව කියල කවුදෝ පෙස්සම් ගහල. පොලිසියට බයටයි ඔය හැංගෙන්න මෙහාට ආවෙ"
" පාල... ඔයා දැන් යන්න. පොලිසිය දැන් ගිහින් ඇති"

සිරිමල් දිග සුසුමක් හෙලල, ඉකි ගගහ නින්දට වැටුනා.
" වේසිගෙ කොල්ල" රත්නපාල සාප කරමින් යන්ට ගියා.
*********************************************************************************
සිරිමල්ගෙ කුඩා සිතට දැනුනේ පුදුම පාළුවක්. හිස් බවක්. එයා එයාගෙ සම වයසෙ යාළුවන්ගෙ ගෙවල් වලට ගිහින් තියෙනව. යාළුවන්ට තියෙනව නිදා ගන්න වෙනම කාමරයක්. එයාල ඒව ලස්සනට තියන් ඉන්නව. එයාලගෙ දෙමාපියනුත් හරි වෙනස්. කතා බහෙන් - හැසිරීමෙන්.
සිරිමල් හිතුව ගෙදරින් පැනල යන්න. පැනල ගිහින් ගෙදරක වැඩ කාරකමක් වගේ රස්සාවක් කරනව කියල. ඒත් පත්තරේ එයාගෙ වයසෙ අයට රස්සාවල් තිබුණෙ නැහැ.
ආයෙම හිතුව පැනල ගිහින් පන්සලක මහණ වෙන්න. ඒත් රෑට බඩගින්නේ ඉන්නෙ කොහොමද ? රත්නායකල , අබේකෝන්ල කියන්නෙ ඒවයෙ ලොකුහාමුදුරුවො පොඩි හාමුදුරුවන්ට කුණුහරප කරනවලු. මේව ගැන කාගෙන් අහල දැන ගන්නද ? ඇරත් මහණ උනාම කොහොමද අර ලස්සන ඇන්ටිල ඇඳුම් නැතුව ඉන්න පින්තූර පොත් බලන්නෙ? ලොකු උනාම කොහොමද ඒවගෙ ඇන්ටිල එක්ක පොටෝ ගහන්නෙ? අර අම්මා බලන පොත්වල තියෙන දේවල් කරන්නෙ ?

සිරිමල් උදේට ඉස්කෝළෙ ගියා. හවසට ගෙදර ආව. යන්නන් වාලේ ඔහේ ගියා. කවුරුවත් ඇහුවෙ නෑ අද මොනවද ඉගෙන ගත්තෙ කියල. මෙතෙක් දවස් පන්තියේ පළවැනියා වුනු සිරිමල් මෙදා පාර පස්වැනියා.
ඇයි මට මහින්දගෙ තාත්තා වගේ තාත්තා කෙනෙක් ලැබුණෙ නැත්තේ? ලක්ෂ්මන්ගෙ තාත්තා වගෙ කෙනෙක්?
මහින්ද ගෙ තාත්තා පඩයක් ඇරියා.
" චිහ්.. ජරා වැඩ කරනව. ළමයත් හැදෙන්නෙ ඔයා විදියට තමයි. මහින්දගෙ අම්මා විහිළුවක් කළා.
මහින්ද තාත්තට " පඩයා" කීවා.
" ඔහොම හිටපං පඩයා කවුද කියල පෙන්නන්න" මහින්දගෙ තාත්තා මහින්ද පසු පස පැන්නුවා. මහින්දට හිනාව නවත ගන්න බැරි තරමට කිති කැව්වා. හැමෝම හිනා උනා.

අනික් යාළුවා ලක්ෂ්මන්.
" හරි කියපන් බලන්න උඹල ඉස්කෝලෙ ගිහින් මොනවද ඉගෙන ගන්නෙ කියල... ඔන්න මම ප්‍රශ්නයක් අහනවා"
" කුකුළෙක් වැටක් උඩට නැගල උතුරු දිශාව බලා ගෙන බිත්තරයක් දාන්ව. බිත්තරේ වැටෙන්නේ මොන දිශාවටද ?"
" හූ... හූ.. කුකුළො බිත්තර දානවද ?" අපි මර හඬ දීල හිනා වුනා.
ඇයි මට ඒ වගේ තාත්තෙක් නොලැබුණේ ?

*********************************************************************************
බක්කර කඩේ රත්නපාල මාමා දවසක් ගෙදර ආවා. බයිසිකළේ. කුසුමාවතීට මොනවද කිව්වා. කුසුමාවතී අඬන්න පටන් ගත්තා. රත්නපාල බඳින්න යනවා. කැකිරාවෙන්. ගුරුවරියක්ලු.
" අපි සහෝදරයො වගෙ ඉම්මු"
" මුලදි මෙහෙම කරල දැන් කොහොමද සහෝදරයෝ වාගෙ ඉන්නෙ" කුසුමාවතී ඇඬුම් අතරින් කීවා.
සිරිමල් බයිසිකළේ බාර් එක අස්සෙන් කකුල දාල පදින්න උත්සාහ කළා.
*********************************************************************************
" පුතේ අපි හොඳ වැඩක් කරන්න ඕන. අපි ලියුමක් ලියමු. මම ලියල දෙන්නම්. ඔයා ලියන්න ඔයාගෙ අත් අකුරෙන්"
" ඒ ඇයි?"
" මගේ අත් අකුරු අඳුර ගනී"
බක්කර මාමා ගේ නැන්දා උගන්වන ඉස්කෝලෙට යවන්න අම්මා ලියා දුන්නු ලියුම සිරිමල් එයාගෙ අත් අකුරෙන් අපූරුවට ලිව්වා.
තාත්තා ගෙදර එන්නෙත් නෑ. මට අම්මා තරහ කර ගන්න බෑ.. අම්මා තරහ වෙලා මාව දාල ගියොත් ?.. සිරිමල් කල්පනා කළා.

( මතු සම්බන්ධයි )

යතාර්තවාදියා