දෝන කුසුමාවතී - අවසන් කොටස

2017 නොවැම්බර් - ඉල් මස කලාපය
විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
දෝන කුසුමාවතී - අවසන් කොටස

වෙලාව රෑ 10.00 ට විතර ඇති.
අන්තිම බස් එක කුසුමාවතිලගෙ ගේ ළඟ ස්ලෝ කලා . ෆුට් බෝඩ් එකේ හිටි කෙනෙක් සුරුස් ගාල පැන්නා. එහෙම පැනල පුරුදු කාරයෙක්. වට පිට බලල කවුරුවත් ළඟ පාත නෑ කියල සැක ඇරල දැන ගෙන කුසුමාවතීලගෙ ගේ දිහාවට ඇදුනා.
ඒත් ඔහු වැරදියි. උකුසු ඇස් දෙකකට මේ දර්ශනය අසු උනා.
ඒ බාලන්ගේ. ඊයේ වත්තෙ පඩි. අරක්කු දිනේලගෙ ගෙදරින් ලාවට රුපියල් දෙකක දාගෙන , කඩේ ඇරල තිබුණොත් මුරුක්කු පැකට් එකක්වත් ගන්න හිතා ගෙන මේ යන ගමන්.
" මං අල්ලගන්නම් අද..."
බාලන් වට රවුමෙන් කැරකිල කුසුමාවතිලයි පිළිකන්න පැත්තට ගියා. අමුත්තා ජනෙලයක් ළඟ. ජනෙල් පියනක් ඇරිලා. කිසි දෙයක් පැහැදිලි නෑ.
ජනෙල් පියන වැහුනා. අමුත්තා දර මඩුව පැත්තට එනවා. සිගරට් එකකුත් පත්තු කර ගත්තා. තව කවුදෝ ඡායාවක් දර මඩුව පැත්තට එනවා. ඒ කුසුමාවතී. පට්ට බැල්ලි.
අමුත්තා කුසුමාවතී බදා ගත්තා. අම්මට සිරි.. ඉංගිරිස් කරමෙට ලව් එකක්. කුසුමාවතී සිගරට් එක උදුරගෙන උගුරක් ඇදල අමුත්තගෙ කටේ ගැහුවා. ආං... කටවල් ඉඹිනව.
පට්ට වේසි. ඒකිට කලිසම ලොකු උනා. කමක් නෑ. මට දුක නෑ. ඕකි සල්ලන් උනේ මගෙන්. ආං ඒකි අරූ ළඟ දණ ගැහුවා.. ඉක්මණට යන්න එපා කියල වඳිනව වෙන්නැති. මං අද හොයා ගන්නං ඕකා කවුද කියල. ඌ මොකා උනත් දෙකේ බස් එකට එන්න එපායැ. එතකං පෙං කෙළපන්.
********************************************************
බාලන් කුසුමාවතිලගෙ ගෙදරට එහා හෝල්ට් එකෙන් මාතලේට යන බස් එකට ගොඩ උනා. හරි... ඊ ළඟ හෝල්ට් එකෙන් අරූත් නැග්ග.
" ඔහොම තමා පිං කළ අය" ඩ්‍රයිවර් අමුත්තට කීවා. ඒ කියන්නේ අමුත්තා ඩ්‍රයිවර් අඳුරනවා. කෙලින්ම බැටරි පෙට්ටිය ළඟ සීට් එකේ වාඩි උනා. ටිකට් ගත්තෙ නැහැ. ඒ කියන්නෙ පාස් එකක්. ඒ කියන්නෙ ලංගමේ වැඩ කරන එකෙක්.

********************************************************
බාලන්ගෙ හිතට හොඳටම අමාරුයි. අරක්කු දිනේලගෙ ගෙදරින් හොඳට බිව්වා. හිනා උනා. ඇඬුවා. බක්කර කඩේ පැත්තට ඇදුනා. කරුවලත් වැටී ගෙන එනව.
" පට්ට වේසි.. ඕකි... මං ඕකිගෙ හු...ට මල් කපන පිහියෙන් අනිනව. ඇනල ඔරවල ගන්නව. වේසී.."
" බාල...න්.. මොකද ? කාටද බනින්නේ ?" කඩේ රත්නපාල ඇහුවා.
" ඕකි කළිසම්කාරයෙක් එක්ක රෑට රෑට පෙං කෙළිනව. ඇයි අපිට දුන්නම මොකද ? අපෙ ඒව බඩු නෙවෙයිද ? මේව නියම බඩු අරී...ද ?"

" බාලන් කවුරු ගැනද ඔය කියවන්නේ ?"
" මං දෙමළා.. ඒක හරි.. වතු දෙමළා. ඒක අරී. ඒත් ඉත ඔඳ කොල්ලා.. අරිද ..?"
" කියාපන් බලන්න. අපි ඔක්කොම එක ගමේ මිනිස්සු නේ..."
" අරකි.. කුසුමා.. මං ඕකිගෙ අම්මට කියන්නෙ නෝන මහත්තය කියල. යකාගෙ නෝනලා.. මගෙ මුදලාලි දන්නවනේ මගෙ නංගී... මාරි.. ගිය මාසෙ බැන්ද.. ඒකි බැන්දෙ නගරසබාවෙ ටැට්ටරේ එළවන එකා.. මනී.. ඌ ඔඳ එකා.. මාරි.. අන්න නියම නෝනලා. ලෂ්ෂනට මගුල් කෑවා. ලෂ්ෂනට ගියා. චරිතෙ.. චරිතෙ... මුදලාලි දන්නවද ඕකි සල්ලන් උනේ මගේ අතින්..."

" කියාපන්.. කියාපන් ඒ කවද්ද ?"
" ඕකිගෙ මගුලට මාසෙකට කලින්. ඕකි ඔයේ නානව.. ගල එලියෙ දාගෙන කුණු උලනව. මට ඉන්ට බෑ. ඇද ගෙන ගියා අකුලට.."
" මුදලාලි දන්නවද ? බොරුවට ටිකක් දැඟලුව මිසක්.. හුම් කිව්වෙ නෑ. අර පොන්නය ඒකට කර ගැහුවා...
මට ෂමා වෙන්න මුදලාලි. මුදලාලිලගෙ මිනිස්සු තමා..ඒත් ඕකි වේසි..

" ඉතින් උඹ දැක්කද ඔය එන එකා ආවෙ මොකටද කියල?"
" මුදලාලි පයිත්තියන් කතා කරනවා. මං මේ ඇස් දෙකට දැක්කනේ.. මං ඕකිට අනින එක අනිනවාමයි.."

" මේකි තියන්න වටින්නෙ නෑනෙ.."
" බාලන් මේ අහපන්. කලබල වෙන්ට එපා. පිහියෙන් අනින්ට ගියොත් උඹට මොකෝ වෙන්නෙ ? හිරේ යන්න වෙයි අපි ඊට වඩා ලස්සන වැඩක් කරමු. දැන් පලයන්. වෙන වෙලාවක වරෙන්.
අපි ගහමු කැලෑ පත්තරයක්. මං ලියල දෙන්නම්. උඹ අලවපන් රෑට හැම තැනම. මේ කඩෙත් එකක් ගහපන්.
*************************************************************
මුණුබුරාට උදේට කන්න ඉඳි ආප්ප ගේන්න ගිය බේබිනෝනා හති දාගෙන දුව ගෙන ආවා. බේබිනෝනා අතේ කඩදාසියක්.
පාරේ ගිය කොල්ලෙක් - කවදාවත් මූණවත් බලන්නෙ නැති එකෙක්- " ආ..නැන්දේ කොහොමද ?" කියල කිව්ව. එහෙනම් හැම තැනම අලවල ඇති.

" මේ මොකද්ද බොල ? අපි ඉඳල ඉවරයි. මේ ඇත්තද බොල.
" ඔය කාගෙ හරි බොරුවක් අම්මේ"
" පලයන් ගිහින් එක්ක වරෙන් විල්සන්. ගෙදර ඉඳන් වැඩට යන්න කියපන්. ඔය කොළඹ යන අයත් ඉන්නේ. ගෙදර පිරිමියෙක් නැති නිසා නේද මේ සේරම?"

කුසුමාවතී සිරිමල් සමඟ දඹුලු ගියා. කෙලින්ම විල්සන්ගෙ නවාතැනට.
" විල්ෂන් අයිය උදේ ඉටිය. වැඩට යන්න ඇති. අසල්වැසි දෙමළ ගැහැණිය කීවා.
දෙන්නාම විල්සන්ගෙ සේවාස්තානයට ගියා. විල්සන් හිටියේ සරමක් හා මේස් බැනියමක් ඇඳ වැට කප කපා.
" හරියට තමන්ගෙ බූදලේ වගේ... ඔයා එන්න ගෙදර යන්න. පුතාත් අහනව ඇයි තාත්ත එන්නෙ නැත්තෙ කියල"
" මං මොනවටද ? ඔය රෑට කවුද එකෙක් එනව කියන්නේ"
" හෙන ගහනව ඔය කටට"
" කතා කරන ලස්සන. මට කවුදෝ ලියුමක් එවල තියෙනව. බොරුවක් වෙන්න බැහැනේ"
" අඩුගානේ සුමානයක් ඉඳල යන්න එන්න"
" නෑ.. මං එන්නෙ නෑ. මම පුතාගෙ වියදම එවන්නම්. ඔහේ මහ ජරා ගෑණියක්."
"ඔව් මං ජරා ගෑණි. තමුසෙ හොඳ මිනිහ. තමුසෙ හොඳ නම් මේ කරදර එකක්වත් නෑනෙ" තමුසෙ එනවද නැද්ද ?" එහෙනම් බලා ගනින්..
කුසුමාවතී එක් වරම හෑන්ඩ්බෑගයෙන් කුඩා බෝතලයක් ගෙන කටේ හලා ගන්න තැත් කළා.
විල්සන් වහා පැන බෝතලය උදුරා ගෙන විසි කළා. ගලක වැදුනු නිල් පාට බෝතලය සුදු පෙණ නගමින් බිඳී ගියා.
" එනව ගෙදර යන්න. මට කිසි දෙයක් එපා. ඔය බේත් කෂාය බීල ආයෙ ඕක නැගිට්ටුවන්න බැරි විත්තිය මං දන්නවා."
" උඹ ළමය ඉස්සරහ කතා කරන්නවත් දන්නෙ නැති නැහැදිච්චි ගෑණියක්"
" පුතේ .. මට ඔයා ගැන දුකයි. ගෙදර යන්න. මම සල්ලි එවන්නම්'
සිරිමල්ට මේව බර වැඩියි. ගල ගැහිල බලන් හිටියා.

අම්මයි පුතයි හිස් අතින් ගෙදර ආවා.
************************************************************
" ගල්වැටේ අන්නාසි ගෙඩියක් තිබුණා. පැහිල.මං දානෙට අන්නාසි වෑංජනයක් හදන්නයි හිතන් හිටියේ. කවුදෝ කඩා ගෙන ගිහින්. නැත්නම් සතෙක් කාල"
" මමයි ඒක කෑවෙ අම්මේ.."
" මං මේ උඹෙන් අහන්නමයි හිටියේ. අසනීපයක්ද ? මූණත් පිපිහලු වෙලා"
" ඔව් අම්මේ. ලෙඩ හැදුනෙ නෑ මාස තුනකින්"
" ඒ කිව්වේ ....?"
" බබෙක් .. මං හිතන්නේ.."

" අනේ අපේ පවුලට වෙන්ට යන නස්පැත්තියක්. පාරක තොටක යන්ට බෑ... මං මේව සේරම දාල යනව පදවියේ. පුතා ගාවට.. උඹ ඕන මගුලක් නටා ගනින්"
" මට මේකෙන් ගැලවෙන විදියක් කියන්න අම්මේ.."
" කාගෙද ළමය. අර ලයනල් කියන එකාගෙද ?"
" මගෙන් අහන්න එපා අම්මේ"

කුසුමාවතී ලයනල් හොයා ගෙන ඩිපෝවට ගියා.
" ඇයි මෙහෙ ආවෙ?"
" මං වෙන කොහාට යන්නද ? ගෙදරට එන්නද කියන්නේ?"
" මොකද වෙලා තියෙන්නෙ?"
" මට ලෙඩ හැදුනේ නෑ මාස තුනකින්.. මං හිතන්නේ බබෙක්"
" යමු මං දන්න දොස්තර කෙනෙක් ඉන්නවා.."
" ළඟ පාතක නම් බැහැ. ගමට ආරංචි වෙයි"
" නෑ අලව්වේ. පොල්ගහවෙලින් බැහැල යන්න ඕන.. මිනිහ මාස පහේ- හයේ ඒවත් අරන් දානවා"

එක් සෙනසුරාදාවක ලයනල් කුසුමාවතිත් එක්ක අලව්වෙ ගියා. සිරිමලුත් ඒ එක්ක ගියා. සිරිමල් හිතුවේ වෙනද වගේ බයිස්කෝප් බලන්න යනව කියලයි.

ලයනල් වෙනද නම් සිරිමල් එක්ක වචනයක් දෙකක් කතා කරනව. අද නම් එහෙමවත් නෑ. අලව්වෙ , රසායනාගාරය කියල ගහල තිබුණු බෙහෙත් සාප්පුවේ ඉදිරිපස රාක්ක වල අරිෂ්ට බෝතල් පුරවල තිබුණ. ඒත් පෙනෙන්න කිසි කෙනෙක් නෑ.
අපේ හඬ අසා අත් කොට කමිසයක් සහ සරමක් ඇඳ කෝපි ඇටයක් මෙන් හිටින්ට කෙස්ස පීරූ මැදිවියේ අයෙක් ඉස්සරහට ආවා. ඔහු තමා කුසුමාවතීගෙ ජීවකයා.
සිරිමල් සාලයේ පුටුවක වාඩි උනා. ලයනල් කුසුමාවතී සමඟ ඇතුලේ කාමරයකට ගියා.
ඔහොම පැය බාගයක් විතර ගෙවෙන්න ඇති. ලයනල් ඇවිත් සිරිමල්ට කිට්ටුව පුටුවක වාඩි උනා. කතා බතා නෑ. බලා ගත්තු අතේ බලා ගෙන හිටියා. තවත් ටික වෙලාවකින් කුසුමාවතී එළියට ඇවිත්,
" අඟල් හතක විතර බටයක් ඇතුල් කලා " කියල ලයනල්ට කීවා. සිරිමල්ට ඒ වචනවල තේරුමක් දන්නෙ නෑ.
ලයනල් මුදල් නෝට්ටු කීපයක් ජීවකයට දුන්නා.

තවත් මාස කීපයක් ගත උනා. කුසුමාවතිගෙ කුස ඉදිරියට නෙරා ආවා.
" ඉපදෙන්න වාසනාව තියෙන එකා ගහේ ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ.. ඕව මෙලොවදීම සහගහන පවුකාර වැඩ" බේබිනෝනා කිව්වා.

" තාත්තේ.. අම්මගේ බඩේ මල්ලි බබෙක් හරි නංගි බබෙක් හරි ඉන්නවා. අම්මගෙ බඩ ලොකුයි. තාත්තට පඩි ලැබුණාම ඇවිත් යන්න එන්න" සිරිමල් වචන ගලපල තව මොන මොනවදෝ ලියල විල්සන්ට තැපැල් කළා.

අපරාදෙ කියන්න බෑ. 25 පඩි අරගෙන 26 දා උදෙන්ම විල්සන් ගෙදර ආවා. විල්සන් හොඳටම දන්නවා ඇගේ කුසේ ඉන්නේ තමන්ගෙ ලෙයින් හැදුනු දරුවෙක් නොවන වග. කලක් මහණදම් පිරූ නිසා සමහර විට විල්සන්ට හිතෙන්න ඇති එවන් තත්වයක ඉන්නා කෙනෙකුට අවශ්‍ය කරන මානසික සුවය. සමහර විට කුසුමාවතීට රිද්දන්න පුළුවන් හොඳම විදියත් මේක බව විල්සන් සිතන්නට ඇත.

එක්තරා දවසක මෙතෙක් යාන්තමට දඟලමින් කුස තුළ උන් අවාසනාවන්තයාගේ දැඟලිල්ල නැතුව ගියා. එදින රෑ...
" අම්මේ...හ්.. මගේ ඇඟ සීතල කරනවා. මට බයයි අම්මේ.. මට මොනව හරි උනොත් සිරිමල් බලා ගන්න.. අම්මේ මට අමාරුයි.." කුසුමාවතී විකාරයෙන් දෙඩෙව්වා.

කුලී වාහනයක් ගෙනැත් කුසුමාවතී රෝහලට ගෙන ගියා.

දොස්තර මහතා කීවේ දරුවා කුස තුල මිය ගොස් ඇති බවත්, ප්‍රසූතියට නියමිත දින ගණන් හරි නිසාත් ස්වාභාවිකව " මළකුණ" ප්‍රසූත වන්නට ඉඩ හැරිය යුතුය කියාය.

සියල්ල සිදුවන්නේ පතා ගෙන-කියා ගෙන ආ හැටියටය. ප්‍රසූතියේදී සිදුවූ අධික රුධිර වහණය නිසා දෝන කුසුමාවතී නැවත ඇස් ඇරියේ නැත. ප්‍රසව මාර්ගයේ සිර වූ දරුවාගේ මළකුණ කැබලි වශයෙන් එළියට ගැණිනි.
"වහාම එන්න" ටැලිග්‍රෑමය දුටු විගසම ආ විල්සන් කෙළින්ම ගියේ රෝහලටයි.
" මට දරුවා බලන්න ඕන"
" එතන දරුවෙක් නෑ. මැරිලයි හම්බ උනේ. කෑලි කෑලි එළියට ගත්තේ.. මෙලාට වලදාලත් ඇති." ඇටෙන්ඩන් කෙනෙක් කියා හිටියා.

ගම්වල මිනිස්සු කෝන්තර පැසව පැසවා තියා ගන්නේ නැත. විල්සන්, සිරිමල් සනසන්න මහන්සි ගත්තා. ගමේ මිනිස්සු පුවක්ගස් කැපුවා. ගොක් කොළ කැපුවා. ගෙදරට කෑම බීම හදා ගෙන ආවා.
සොහොන් පිටිය තිබුණේ මහ පාර කිට්ටුව පල්ලමක. " කුසුමා රණසිංහ මහත්මියට නිවන් සැප ලැබේවා" බැනරය සහිත පුවක් ගස් හා ගොක් කොළින් සොහොන සැරසුනා.
" ඩිපෝව" කියල බෝඩ් එකක් ගහපු ලංගම බස් එකක් ඇවිත් සොහොනට යන පාර අයිනේ නතර කළා. එහි සිටියේ බස් එකේ ඩ්‍රයිවර් සහ ලයනල් විතරයි. ලයනල්ගේ මූණ රතු වෙලා තිබුනා.

" උඹ හිතා මතා කළ දෙයක්යැ" මිතුරා ලයනල් සනසවන්න හැදුවා.
ලවුස්පීකර් නොදැම්මත් හාමුදුරුවරුන් පස් නමක් විසින් සජ්ජායනා කල " යතාවාරි මහා පූරා" ගායනා ශබ්දය සොහොන් පිටියේ කන්ද නැග ගෙන ලංගම බසය තුලට ගමන් කළා. ලයනල් හිස බදා ගෙන වැලපුනා.

මළානික හිරු අවරට යද්දී සොහොන්පළේ ඉතිරි වුනේ කීප දෙනෙක් විතරයි. ලයනල් වලට පස් දැම්මා. බක්කර කඩේ රත්නපාලත් එහෙම කළා. විල්සනුත් වලට පස් දමමින් ගාතාවක් වගේ දෙයක් තාලෙට කීවා. වලට පස් දමා වල ගොඩ කල බාලන් උදළු තලයෙන් පස් ගොඩැල්ලට තඩි බා "පට්ට වේසි" කියා කීවා.
විල්සන් කොත් කරන ලද පස් ගොඩ මත ඉටි පන්දමක් දැල්වීමට උත්සාහ කළත් සුළඟ එය වැලැක්වූවා. ලයනල් දෑතින් සුළං ආවරණය කළා. බක්කර කඩේ රත්නපාල පස් ගොඩැල්ලේ කුඩා වලක් සාදා ඉටි පන්දම එහි රුවා ගිනිකූරක් ගැසුවා.

ලයනල් රැගත් "ඩිපෝව" බෝඩ් එක ගැසූ බස් රතය නියුට්‍රල් එකේම මාතලේ පැත්තට ඇදී ගියා. තමාට කසාදයක් කර ගැනීමට තිබුණු එකම බාදකය ඉවත්වීම නිසා හිත සැහැල්ලු කර ගත් රත්නපාල " සංසාරෙ හැටි ඔහොම තමයි" කියා සොහොන් පිටියෙන් ඉවතට යන රංචුවට එක් වුනා. ඒ රංචුවේ කෙලින්ම ඉස්සරහ බලා ගෙන හැඟීමක් රහිතව ගමන් කළ විල්සනුත් හිටියා.
සිරිමල් දිව ගොස් විල්සන්ගේ සුළඟිල්ල අල්ලා ගත්තා. විල්සන් ඒ අත, අත හැරියේ නැහැ.

සමාප්තයි.

~යතාර්තවාදියා~

මුල් පිටුවට