කවි පිටුව

2017 නොවැම්බර් - ඉල් මස කලාපය
විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
කවි කොළේ.... වැහි නැති හෙණ


සකල සිරින් පිරි අපගේ මව් බිම - අද පත්වී තිබෙනා              තත්වේ
හිතට අමාරුයි ඇහුනම දැනුනම - අහන්න ඔබ හට පිං            අත්වේ
දවසින් දවසෙම එක එක තාලෙට - අපගේ සිරිලක් මව           රත්වේ
දියවන්නාවේ හොරු රැල හින්දා - රට නැති වේ යයි මට         සිත්වේ

ලිච්චවි රජයයි යහ පාලනයයි - ඇවිදින් මව් බිම ගොඩ                  ගන්න
කරන කියන දේ දැකලා අහලා - සොබා දමත් විය පැන                යන්න
මල් මාලා ගෙන සිය ගණනින් එති - හොරුන්ට ඒවා                පලඳන්න
නීතිය රැකි අය පන්නන කොට උන් - කිසිවෙකු නැහැනේ       පිලිගන්න

බැඳුම් කරෙන් අප රටට උරුම වෙන - ලාභය හොරකම් කර         ගත්තූ
මහ ජනතාවගෙ ඇහැ කණ වහලා - වැජඹුන ඒ තිරිසන්                සත්තූ
නීතිය ඉදිරියෙ එලියට එනකොට - විලසට ඉහ මොල ගිණි           ගත්තූ
මල් මාලා දා පිළි අරගන්නට - පොරකති රජයේ                    බලවත්තූ

ගෙවල් සමග මිනිසුන් යට උන දා -කුණු කන්දට මීතොට                    මුල්ලේ
මරික්කාර් හිරුණිකා වගේ අය - සැඟවී හිටියේ දොර                           මුල්ලේ
උන්ගේ නම් ගම් බල්ලට දාලා - බැන බැන හිටි අය එක                      එල්ලේ
කොලොන්නාවෙ උද්ඝෝෂකයින් හට - පෙන්නුවාලු බල ලී            පොල්ලේ

නැහැ අප මතකේ ඊයේ උන දේ - අද වෙන දවසකි අපි                           එහෙමයි
රැවටෙන බව අපෙ ජාතික ගතියයි - හොරු රංචුව දෙකොනින්               හිනැහෙයි
කවුද වැරදි කවුදෝ හරි කියලා - මිරිඟුව මෙන් මතුවී පැන                              යයි
දූ දරු පිරිවර විඳිනා දුක දැක - ලක් අම්මා නිරතුරු                                වැලපෙයි

බදු පැනවෙනවා දුප්පත් මිනිහට - බලවතාට ඇත බදු                                සහනේ
මැති ඇමතියො රැල සුර සැප වළඳති - කෝ දුන් පොරොන්දු මොකද          උනේ
විලි ලජ්ජා නැහැ තවමත් අපහට - පලි ගත්තම බඩ                           පිරෙනවනේ
එලුවගෙ මොකක්ද බිම හැලෙනා තෙක් -නරියෙක් පස්සෙන්              හිටියලුනේ

රට විකුණනවලු - නැහැ බදු දෙනවලු - කොහොමද හරි දේ දැන                      ගන්නේ
හොරා කවුද සිල්වතා කවුරුදැයි - දෙවියන් පමණකි                                   හඳුනන්නේ
අපේ රටට යන කල දවසක් ගැන - නැහැ හරි තොරතුරු                           හෙලිවන්නේ
හොරුන්ට වාගෙම අඹු දරුවන්ටත් -දවසක වැහි නැති හෙන                            එන්නේ

ආනන්ද ගුණතිලක- මෙල්බර්න්- ඕස්ට්‍රේලියාව
*********************************************************

රනිල්ලා රාජිතලා මෛත්‍රීලා රෝසිලා
වටේට ඉදගෙන බොහෝ දේ කියවන
අවුරුදු තුනක ආණ්ඩුකරණයේ ප්‍රතිඵල
හරි දැන් කවුද මෙතැනදි ඇත්ත කියන්නේ..........?

මහින්දලා බැසිල්ලා ගෝඨලා නාමල්ලා
ටීවි එක ඉස්සරහා දත්මිටිකාගෙන
ඇමතිකමක් නැති විපක්ෂයේ දුක පෙරාගෙන
හරි දැන් කවුද එතැනදි ඇත්ත කියන්නේ ...........?

දිනේෂ්ලා විමල්ලා වාසුලා ඩලස්ලා
රෑ නමය හමාර වෙද්දි ලේ රත්කරගෙන
කොළේ වහමින් සිල්ලරට කඩේ යන අස්සෙ
හරි දැන් කවුද ඒ ගැන ඇත්ත කියන්නේ............?

බාහුලා අනුරලා විජිතලා ටිල්වින්ලා
තිරයට නොයා තිරය පිටුපස හිඳ
කන්දක් නොදැක්කාසේ කෙන්දට බැණ
හරි දැන් කවුද ඒ ගැන ඇත්ත කියන්නේ...........?

කුරුටු ගෑ ගී පවුර
******************************************
රහස

පාර අයිණෙ දිය කඩිත්ත
අරක් ගත්තු ගෙම්බො රොත්ත
දවසක්දා මෙහෙම හිතනවා
ලෝකෙ තියෙන ඇත්ත,නැත්ත
දැනගන්නට ඇති කැමැත්ත
ගෙම්බො වුනත් අපිට තියෙනවා

බාලම ගෙම්බෙක් උගත්ත
අමතාලා ගෙම්බො රොත්ත
උඩකට අපි යමුද අහනවා
ලෝකෙ තියෙන ඇත්ත,තත්ත
හැරි හැරි අපි පැත්ත,පැත්ත
උඩඉඳලා බළමු කියනවා

නැතුව වැඩිය සද්ද බද්ද
ගෙඹි සරීර පද්ද පද්ද
ලයිට් කණුව දිහාට යනවා
කකුල් වළින් අද්ද අද්ද
එක එකාට රිද්ද රිද්ද
පොරකාගෙන උඩට නගිනවා

යනකොට උන් ලිස්ස ලිස්ස
බිම ඇනෙනව උන්ගෙ පස්ස
රූට රූට උඩට නගිනවා
සෙල්ලන් දා දන්න දන්න
ගෙම්බො උඩට යන්න යන්න
ගෙඹි රැනට සතුටු හිතෙනවා

මේක දැකල තක්කු මුක්කු
වෙලා ඔන්න කොක්කු, යක්කු
ගෙඹි රෑනට හූව දානවා
රෑනට ගෙඹි රිද්ද,රිද්ද
කොක්කුන්ගේ සද්ද බද්ද
ගෙම්බො උඩට යයිද? අහනවා

නැග්ග ගෙම්බො ගාට ගාට
පහළට එයි රූට රූට
ඔක්කොම උන් බිමට වැටෙනවා
බලන්නැතුව එපිට,මෙපිට
එක ගෙම්බෙක් උඩට උඩට
උගෙ පාඩුවෙ මුදුනට යනවා
නාකි එකා උඩයි,උඩයි
තරුණ එවුන් බිමයි,බිමයි
කොක්කු උසුළු විසුළු කරනවා

ගෙඹි ආතයි උඩට නැගුනෙ
ඇයි අපි බිම වැටුනෙ වැටුනෙ?
අනිත් ගෙම්බො රහස හොයනවා
ආතා ගැන මමයි දන්නෙ
අපෙ ගෙදරින් කන්නෙ බොන්නෙ
ඒකෙ රහස හොඳට දන්නවා
උන්දැගෙ කණ නෑ ඇහෙන්නෙ
ඇහුනානම් නෑ නගින්නෙ
රහස එකෙක් එලියට දෙනවා

නිමල් පෙරේරා - ලාස් වේගාස්
****************************************
සිහින සිතුවම්.......

තරු ආකාසේ
දිලිසෙනවා සේ
ඔබ නෙතඟ බැල්ම
මගෙ හදේ පතුලම

වියලි පොලවට වට
වැහි පොදක් සේ
තෙත් කලා මා
හදේ රළු බව

එහෙත් නොසිතූ වෙලා වක
අපව වෙන් කර බැඳුනු පවුරක්
උස්ව උස්ව ගොස්
නොපෙනී ගියා ඈ...

සුමනා සත්කුමාර
නෝර්ත් හිල්ස් -කැලිෆෝර්නියා


මුල් පිටුවට