කවි පිටුව

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
නව වසරයි - පොරොන්දුයි
නීතිය රටේ, ඇත අද ඉහලම                      රන්දා
බඩු මිල අඩුයි, ඇත එය පහලක                  බන්දා
ඔවදන් ගනිති, මහ සඟ මුල් තැන                ඉන්දා
සතුටින් නව වසර අපි ගෙන එමු               කැන්දා

විධායකය දින සියයෙන් නැති              කෙරුවා
කැබිනට්ටුවම විසි පහකට අඩු               කෙරුවා
අඩුවට කාර් දෙන කම්හල් ඇති              කෙරුවා
'ෆ්රී වයි ෆයි' වලින් රටටම සෙත              හැදුවා

හොරු අල්ලලා රට පිරිසිදු කර                       දුන්නා
නීතිය පොලීසිය හැමටම පල                          දුන්නා
ජීවන බරක් නැහැ - මිල අඩු කර                     දුන්නා
දුන් පොරොන්දු තුන් වසරෙන් ඉටු                වෙන්නා

දුප්පත් ගොවි පුතෙක් ජනපති කමට                  ගියා
පොලොන්නරුවෙ ඉඳලයි රට කෙරුවෙ             එයා
අගමැති තුමා හට දරු පල නොමැති                  නියා
හොරබොරු නොමැත දෙදෙනගෙ කිසි   තැනක  ලියා

මුස්ලිම් දෙමළ අය අද නිහඬව                             සිටිතී
සිංහල බොදුනුවෝ සතුටින් කල්                          යවතී
වනයේ සත්තු සැක බිය නැතිවම                          නිදතී
පාලක පිරිස ධර්මිෂ්ඨව රට                                 කරතී

කොමිස් නොගෙන මැති ඇමැතියො වැඩ         නේද
අත්ය වශ්ය දේවල මිල අඩු                             නේද
බොරු වියදම් එදා වගෙ අද නැහැ                    නේද
ඒකයි නැත්තෙ කිසිවකු ගෙන් අප                     වාද

රණ විරු පවුල් වල අම්මල සහ                    දරුවෝ
සැහෙන කලක් හිත් තද කර දුක                  දැරුවෝ
කළ කැපවීම් ගැන ඔවුනගෙ ගුණ                වැනුවෝ
ආදර්ශමත් ලෙස ඉහලින් තුති                       පිදුවෝ

නීතිය නොසලකා වේගෙන් ගිය                        වණ්ඩී
කිසිවක් නොමැත අද - කෝ ඒ බොරු               චණ්ඩී
අන් රියදුරන් හට පෙර මෙන් නැහැ                  කිණ්ඩී
පැදවිය හැකිය පාරේ නොගසා                      නොණ්ඩී

‘යහ පාලනය’ හින්දා සිරි ලකෙහි                            අද
'ලිච්ඡවි පාලනය' බැබලෙයි සතුට                           මැද
පොරොන්දු හැම මේ ලෙස ඉටු කරන                       ලද
රජයක් ලොවේ කොතැනකවත්                     තියෙනවද

කල් මර මර හිටපු චන්දෙත් ලඟ                      එන්නේ
පිරිසිදු නායකයො තව කොහෙදෝ                  ඉන්නේ
මේ අය රජ උනොත් විතරයි ගොඩ                   යන්නේ
උන්ටම දෙනු මැනවි - තව කිරි                    උතුරන්නේ

~ආනන්ද ගුණතිලක- මෙල්බර්න්- ඔස්ට්‍රේලියාව~
******************************************************************

වෙද මහත්තයා හා දොස්තර පුතා!!!

වෙදකම මං කරං එන්නෙ පරම්පරාගත
ලෙඩා දුන්නෙ සුළු මුදලක් තියල බුලත් අත
කවදාවත් මුදල් වලට ගියෙනෑ මගෙ හිත
එහෙම වෙලත්, උඹ දොස්තර කෙනෙක් කෙරුව පුත!!!

නිකං දුන්නු දැනුම ලබල ඉගෙනගත්තු පුත
මහජනයගෙ මුදලින් උඹ දොස්තර වී ඇත
ලෙඩ්ඩුන්ගෙන් මුදල් ගරන එකයි පුතේ කැත
මනුස්සකං උඹට නැතත් මගෙ පපුවේ ඇත!!!

වෙදනලාව තිබ්බම ඔය ලෙඩෙකුගෙ පපුවට
උඹට ඇහෙයි "ඩිග් ඩිග්" හඬ විතරක් හරියට
ඒත් පුතේ අත අල්ලං නාඩි බලනකොට
ගිලන් හිතක් හඬාවැටෙන හඬ ඇහෙනව මට!!!

සල්ලි නෙවෙයි, අත අල්ලල බෙහෙත් දුන්නෙ මම
මුදල් වලට වැඩිය ලොකුයි මට, මනුස්සකම!
"දොස්තර මුදලාලි" කියල උඹට හැදිල නම!
පුතා උනත් කළකිරෙනව, මට උඹ දැක්කම!!!

~නිමල් පෙරේරා - ලාස් වේගාස් - ඇමරිකාව~
******************************************************
සුදු සහ කළු

සිනිඳු සුදූ
රළුද කලූ
පැහැය සැදූ
දෙව් කණ ලූ........

ඉහළ සුදූ
පහළ කලූ
ලොව මෙබදූ
වෙයි යහළු.......

හිරුට සුදූ
බිය වෙයි ලූ
රැයට හැඩූ
කදුලෙන් ලූ.......

දවස මැවූ
දොම්නස ලූ
හඬන රැවූ
රුව කලු ලූ........

වෙනෙස සැදූ
පැහැයම ලූ
දියත බෙදූ
මානව ලූ.....

~වර්ෂ පවන් දිසාසේකර - ශ්‍රී ලංකාව~
**********************************
"අමන ගති............"

සුන්දරයි ඔබෙ  ගමන
මිහිරි  ගී   හඬ   මවන
සිසිලසයි  ඔබ   දකින
නිවෙයි සිතගත නිතින

කවුද   ඔබ   කොහි  දුර සිටද   එන්නේ
ගතහිරි වැටෙන  සීතල   කවුද  දුන්නේ..?
සුදු  සේලයට සොඳුරුව  එකතු වන්නේ
වැසි වලාවකට නොවැ  පිං සිදු වන්නේ

නිල් වන ලැහැබ තුල   කූජනයකි  ඇසුනේ
ගල් මත පෙන නැගෙයි දිය රැලි නංවමිනේ.
දිය ඇලි කොමලියේ නොනවතින
නගරයේ හිරවුන  මගේ දිවි  ගමන

මොහොතකට රැගෙන ගිය මිහිරට
කෙසේ තුති   පුදනෙමිද  ඔබ   හට
හැරුනු  විට  එන්නට        මගට
කැපුනි ගැඹුරට  වීදුරු  කටුවකට
දුටිමි නොමිනිස් කම් කසල  යට
අමනයින් වින කල  එපරිසරයට.

~සුමනා  සත්කුමාර-නෝර්ත් හිල්ස්~



මුල් පිටුවට