ගීත කතන්දරය

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප

පිරිත් පොත සේ පිවිතුරුයි
බණ කතා මෙන් පින්බරයි
සුන්දරයි කව් සිළුමිණේ කවි වගේ
මං නුඹට පානා ආදරේ

රුවන් වැලි සෑයට උසයි - මහා පැරකුම් වැව වගෙයි
ඉසුරුමුණි පෙම් යුවලවත් විඳ නෑ
අපි අපිට පානා ආදරේ

තුන් රුවන් සරණින් බෙලෙන් - සිව් වරම් දෙවි අනුහසින්
සෙත් පිරිත් සේ වාසනා වේවා
මං නුඹට පානා ආදරේ
නුඹ මටම පානා ආදරේ

ගායනය: ජානක වික්‍රමසිංහ

කෙනෙක් කියන්නේ ආදරය දෙවෙනි වන්නේ නිර්වාණයට පමණක් කියලාය. තවත් කෙනෙක් ආදරය රාගයෙන් තොර සඳ එළිය මෙන් පාරිශුද්ධ බව පවසයි.
ආදරයේ අගය සහ ප්‍රහර්ෂය වචනයට නැගීම අපහසුය. වෙසෙසින්ම තමා අවට ඇති සියළු දෙනාටම තේරුම් ගත හැකි බසෙකින් එය කිරීම තවත් අසීරුය. මේ ගීය, ආදරයේ ප්‍රහර්ෂය විස්තර කිරීමට දැවැන්ත වචන, උපමා, උපමේය අවැසි නොවන බව පෙන්වන වර්තමාන නිදසුනක් බව මා මතයයි. එහෙත් මෙවන් ගැඹුරු ආදරයක් මිහි පිට පවතීද යන්න ප්‍රශ්නයකි

කථා නායකයාගේ ආදරය පිවිතුරු, අගය කලයුතු, අති වෙසෙස් එකකි. එය පිරුවාණා පොත් වහන්සේ මෙන් පිවිතුරු එකකි. බණ කතා මෙන් පින්බර, කව් සිළුමිණ මෙන් සුන්දර එකකි. පිරුවාණා පොත්වහන්සේ, ජාතක කතා පොත සහ කව් සිළුමිණ යනු සිහළ සාහිත්‍යය තුල අමරණීය සලකුණු තබන නිර්මාණයන්ය. පිරුවානා පොත් වහන්සේ භක්තියත්, පන්සිය පණස් ජාතක කතා පොත, ව්‍යවහාර සාතිත්‍යයත්, කව්සිළුමින් ව්‍යාකරණ සම්බන්ධයෙනුත් ඉහළම පොත් වේ. එසේම මේ ආදරයේ පිවිතුරු බව, එහි විශාලත්වය සහ ගැඹුර දැක්වීමට රචකයා මේ උපමා භාවිත කරයි.

රුවන්වැලි සෑය සහ පැරකුම් සමුදුර යනු නැවතත් උතුරු දිග තැනිතලාවේ ජනී ජනයාගේ එදුනෙදා ජීවිතයේ හමුවන දැවැන්තම වස්තූන්ය. මේ ආදරය ඒවාටද වඩා විසල්ය. ඉසුරුමුණි පෙම් යුවල යොදන්නේ, ඔවුන් දීර්ගකාලීන්ව පෙමින් වෙලී සිටින නිසාවෙනි. නමුත් කථා නායකයාගේ කෙටි කාලීන ප්‍රේමය තරම් එකක් ඔවුන් ද විඳ නැත! මෙවන් පිවිතුරු සහ ගැඹුරු පෙමක් තුණුරුවන් බලයෙන් සහ සිව් වරම් දේව අනුහසින් හා සෙත් පිරිත් බෙලෙන් රැක දෙන මෙන් කථා නායකයා ඉල්වයි.
මේ ගීතය පුරාවටම යෙදෙන වචන ඉතාම සරල මෙන්ම, අනුරාධපුර පළාතට ආවේණික ගතියක් සහිත ඒවාද වෙයි.
~ගයනි චතුරංගී - වෙන්නප්පුව~

මුල් පිටුවට