කෙටිම කෙටි කතාවක්

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
Cakes by Kanthi
310-327-7198
kanthiperera@hotmail.com
*****************************
දොස්තර නෝනා

පවුලේ එකම දියනිය වූ ඇය රූමත්ය.
තම එකම සහෝදරයාගේ නිරන්තර සොයා බැලීම ඇයට මහත් ශක්තියක් විය. පියාගේ අභාවයෙන් පසුව ඔහු දයාබර පියකු මෙන් තමා ගැන මෙන්ම තම මව ගැනද අඩුවකින් තොර සොයා බැලීම නිසා ඇයට තම ඉගෙනීමේ කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩකඩ ලැබුනි.
අපි ඇයට උත්පලා යැයි කියමු.
උසස් පෙල ජීව විද්‍යාව හැදැරූ ඇගේ එකම අභිලාශය වූයේ අනාගතයේදී දොස්තර නෝනා කෙනෙකු වීමටය.
එසේ නොහැකි වුවහොත් ස්වේච්චා සංවිධානයකට බැඳී දිලිඳු රටවල සංචාරය කරමින් ඇයගේ සේවය කිසිදු අඩුවකින් තොරව ඔවුනට ලබා දීමටය.
ඉතියෝපියාව වැනිරටවල  දරුනු නියගයෙන් පෙලෙන, කුසට අහරක්, බීමට දිය පොදක් නොමැතිව ඇවිදින ඇට සැකිලි බඳු දරුවන් දැකීමෙන් ඇගේ ඇසට කඳුලු ඉනුවේය. අකාලයේ මියගිය පියාට පිං දිය හැක්කේ නැති බැරි අයට තම සේවය නොමිලේම ලබාදීමෙන් යැයි ඇය නිරන්තරයෙන් සිතුවාය.
ඇගේ අදහස වටින් ගොඩින් පවසන විට සහෝදරයා තම අදහස තුලින් අකමැත්ත ප්‍රකාශ කලේ උත්පලාගේ හිත නොරිදෙන ලෙසටය. මවද ඔහුගේ අදහස තවුරු කරමින් ඊට හවුල් විය.
" ලෝකෙට වැඩ කරන්ට ඉස්සෙල්ලා තමන්ගේ දියුණුව ගැන මුලින් හිතන්න. අනික අම්මයි මායි මෙච්චර මහන්සිවෙලා ඔයාට උගන්වන්නේ ඔයාව නොපෙනෙන දුරකට යවන්න නොවෙයි."
හිනාවකින් තොරව පැවසූ ඒ වදන් වල දැඩි බවක්, කැටි කරගත් බලාපොරොත්තු රැසක් ඇති බව ඇයට හැඟුනි. ඇය බලාපොරොත්තු අත් හැර දැමීමට කිසිසේත් අදහස් නොකලාය
උසස්පෙල විභාගය ඇගේ බලාපොරොත්තු මල් ඵල ගන්වන එකම  කඩ ඉම බවට ඇය විශ්වාස කලාය.නිදහස් ගමන් මගක යාමට ඉඩකඩ සාදා ගැන්මට නම් උසස්පෙල සමත්ව සරසවියකට ඇතුල් විය යුතුමය.එවිට අම්මාවත්, අය්යාවත් ක්‍රමයෙන් තම  අදහස් වලට නම්මවා ගැන්මට අපහසු නොවනු ඇත.
උත්පලා වඩාත් මහන්සිවී තම ඉගෙනීමේ කටයුතු කලාය. ඉඳහිට තම කාමරයට එබිකම් කල අයියා ඇගේ හිස අතගා අයට හැඟවූයේ නිහඬව ආශිර්වාද කරන බවකි.උත්පලා නිදිවරන තාක් කල් මවද ඇය අසලින්ම නිදිවර්ජිතව සිටියාය.
"අපරාදේ නිදිමරන්නේ...අම්මා ගිහින් නිදා ගන්න ." අම්මා කෙනෙක් තම දුව ගැන කොච්චර හිතනවාද..?
" ජනවාරි පලමුදාට අපි පංසලට ගොහින් බෝධි පූජාවක් කරල, පඬුරකුත් ගැට ගහලා එමු.."
ඒ මොකටද අම්මේ..?
'ඇයි දුව විභාගේ හොඳට පාස් වෙන්ට කියලා."
උත්පලා සිනාසුනාය. 
"අනේ අම්මේ මං විභාගේ හොඳට පාස් වෙන්නේ මහන්සිවෙලා පාඩම් කරලා හරියට උත්තර ලියුවොත් විතරයිනේ..."
"එහෙම කියන්ට එපා දුව....තුනුරුවන්ගේ ආශිර්වාදය ඉගෙන ගන්න කෙනෙකුට හුඟාක් වටිනවා. .. හැම කටයුත්තකදීම ආගමේ පිහිට තමා ඉතින්..."
"හා හා පෝය දවසක් අල්ලලාවත් යමුකෝ".."
එහෙම නොවේ දුව, ජනවාරි පලමුදා කියන්නේ හැමෝම පංසලට ගිහින් වතාවත් කරන හොඳ දවසක්......එදාට රට පුරාම නිවාඩු නොවැ..ඔන්න වෙන වැඩ දාගන්ට එපා එදාට...උදෙන්ම පංසලට යමු...."
උත්පලා අම්මාගේ විශ්වාසයට හරස් කපන්නට එකදු වචනයකුදු මුවින් නොබැණ එකඟතාවයෙන් හිස වැනුවාය.
ජනවාරි පළමුදා උත්පලා දිගු කලකට පසුව සුදුවතින් සැරසී පංසලට ගියේ බොහොමයක් බැතිමතුන් අතරින් අසීරුවෙනි.
බෝධිය නෑවීමට පැන් කලයක් හිස්වනතුරු මව තම වාරය එනතුරු බලා සිටියා. බුදු ගෙය දෙසට පියනගන යුවලක් දැකීමෙන් ඇය හදිසියේම තිගැස්සී ගියාය.
වහා බෝධි ප්‍රාකාරයට මුවාවූ ඇයට තම සොහොයුරා රූමත් තරුණියක සමග දෝතින් ගත් මල් අතැතිව බුදු ගෙයට ඇතුල් වනු දුටුවාය.
"මාර උපාසකයා, අපිටත් නොකියාම පංසලට ඇවිත්.. "
 තනි සිතට සිතමින් උත්පලා මව සිටින දෙසට පියමං කලේ තමා හෝ මවහෝ දුටුවේ නම් ඔහු ලජ්ජාවට පත්වන බව සිහි වීමෙනි.
කාලය ගෙවී ගියේ විභාගය අත ලග බව මතක් කරමිනි.උත්පලා වඩාත් වෙහෙස වෙමින් ඉගෙනීමේ කටයුතු වල යෙදුනාය.
විභාගයේ අන්තිම දිනයද පසු කල ඇයට මහත් උද්දාමයක් සිතට දැනින.
ඒ කුමක්දෝ බරපතල වගකීමකින් නිදහස් වූවාක් වැනි ඇතිවූ චිත්ත නිදහසයි.
" අය්යානම් දැන් හරිම පිලිවෙලයි.. මූනේ වෙනදාට වඩා සිරියාවකුත් පැතිරිලා.." තමා දන්නා රහස ගැන ඉඟියක් කරමින් උත්පලා අය්යාට විහිලුවක් කලේ අම්මාට නොඇසෙන ලෙසය.
"මොකක්ද ඒ කථාවේ තෙරුම..?
"තේරුම අය්යාම දන්නවානේ " උත්පලා සිනා මුවින් පවසද්දී 
 "කට, කට අම්මාට ඇහෙයි..මොනවා ගැනද ඔය කියවන්නේ..?"
 "  'හ්ම්....හ්ම් බලමුකෝ අම්මාට නොකියාම ඉන්න පුලුවන් වේදකියලා..."සීරුවෙන් වට පිට බැලූ ඔහු අඩියට දෙකට නිවසින් පිටවී වාහනයට ගොඩවිය.
උත්පලාගේ ප්‍රතිපල ආ දින තරම් මව හා සොහොයුරා සතුටු වූ දිනයක් තවහ් නොවීය. 
උත්පලා ලත් ඉහල ප්‍රතිපල අනුව ඇය නිතැතින්ම වෛද්‍ය විද්‍යාලයට තේරෙන බව විදුහල්පතිනිය එදින ම ප්‍රකාශ කලේ ඇයට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමිනි.
ජීවිතය ක්‍රමයෙන් තම අරමුණු කරා ගෙන යන බවක් ඇයට වැටහිනි.
"අවුරුදු හතරක්, පහක්  මගේ ඉගෙනුමට වියදම් කරන්ට අනේ මංදා..?" උත්පලා මවගේත් සොහොයුරාගෙත් මුහුන බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි.
"මම ඒ වගකීම භාර ගන්නවා, පිස්සු නැතිව කැම්පස් යන්න හිත හදා ගන්න.." අය්යා තරවටුවෙන් පැසුවේය. 
"වෙන ළමයි විභාගේ පාස් කරගන්ට බැරිව දඟලනවා. ඔයා මේ අතට ආ වාසනාවට පයින් ගහන්න හදනවා..."
අම්මා විමතියෙන් උත්පලාගේ මුහුන බැලුවාය."අපි තියන දෙයක් විකුනලා හරි වියදම් කරනවා.. අනේ දුව ඒ ගැන සැකයක් නම් හිතන්ට එපා ඔන්න.."
අම්මා අදිශ්ඨානශීලි  මුහුනකින් පැවසුවේ මහත් සතුටකිනි.
කාලය පියාසර කරද්දී අය්යාගේ ජීවිතයට එබී බැලීමට උත්පලාට නිදහසක් නොවීය.
" ගෙදර ඉඳලා දුර හින්දා හවස උගන්වන දේවලට හිටියාම රෑවෙනවා කියලා ඔය කියන්නේ ...අපි දූව කොලඹ කිට්ටුව බෝඩිමක නවත්තමු.. ඔය දූගේ යාලුවෝ ඉන්න හොඳ තැනක් තියනවා කියන්නේ"
උත්පලා කොලඹට තදාසන්න නිවසක නැවතුනේ ඒ අයුරෙනි.
තම නිවසෙහි ගෙහිමියන් තම දරුමල්ලන් ආවාහ විවාහ කරදී විවේක සුවයෙන් පසු වූහ. 
උස් තාප්පය හා ශක්තිමත් ගේට්ටුව දෙස අම්මා විපරමෙන් බැලුවාය."මෙහේ ගෑනු ලමයින්ට ආරක්ෂාව එහෙම කොහොමද..?"
"දැනට ඉන්න අයගෙනුත් අහලා බලන්නකෝ..අපි හුඟ කලක පටන් මේ ගේ ලමයින්ට පහසුවක් කරලා තියෙන්නේ සල්ලි වලටත් වඩා අපි දෙන්නා තනියෙන් හින්දා..මේ ලමයි ඉන්න හින්දා අපේ දරුවෝ ලඟ ඉන්නවා වාගේ හිතට ලොකු සැනසීමක් තියනවානේ..!එක්කෙනෙක් ගිය හින්දයි මේ දරුවාට ඉඩ හම්බ වුනේ.."
උත්පලාට මෙන්ම අම්මාට හා අය්යටද ගෙහිමියන්ගේ කාරුණික වදන් මහත් අස්වැසිල්ලක් වීය.
"අපි ඉඳහිට දුව බලන්ට ආවාට වරදක් නෑනේ..?
"අනේ කොච්චර ලොකු දෙයක්ද..?දෙපැත්තටම හොඳයිනේ..! 
කාලය වේගයෙන් පියාසර කරද්දී උත්පලාට ජීවිතයේ විවිධත්වයක් දැනිනි.වෛද්‍ය පීඨ යේ සිසුන්ට අන්‍ය පීඨ වල සිසුන්ට මෙන් ප්‍රේම සඹඳතා ගොඩ නගා ගැන්මට ඉඩ කඩක් , නිදහසක් නොමැති බව නොබෝ කලකින්ම ඇයට වැටහිනි.
අවසන් වසරේ විභාගයට කල් තියාම සැවොම සූදානම් වන බවක් ඇය තේරුම් ගත්තාය.
"අය්යා සෑහෙන කලක පටන් දැන අදුනා ගත්තු ගෑනු ළමයෙක් ගැන කියනවා...ඔයාත් ගෙදර එන දවසක ඒ  ලමයාගේ ගෙවල් බලාකියාගෙන ඔක්කෝම කථාබහ කරගෙන එමු කියලා අය්යා කියනවා.. අපි දෙන්නා හින්දාම අය්යාගේ වයසත් පහුවේගන යනවානේ... එයාගෙම ඔෆීසියේම වැඩ කරන දැරිවියක් කියනවානේ..."
එක් දිනක් අම්මා දුර කථන ඇමතුමක් දෙමින් කීවාය.
ඇයට සියල්ල මතක් වූවත් කිසිවක් නොදන්නා විලසින් 
"එයා කොහේ කෙනෙක්ද..? විස්තර දැන ගන්නා අටියෙන් විමසුවාය.
" කෑගල්ලේලු ටිකක් වේලපහ යන්න වෙනවා.. දුරයිත්නේ..ගෙදර ඇවිත්ම කතා කරමු.."
"විභාගෙත් ටිකක් කිට්ටුයි... ඒත් අය්යගේ ඒ වැඩේට නෑවිත් කොහොමද..? මම සිකුරාදා හවස නොවරදවාම එනවා.."
උත්පලා අම්මාට තහවුරුවක් දෙමින් පැවසුවාය.
උත්පලාගේ සිත මහත් සතුටින් පිරින. අලුත ගෙනෙන මනමාලි තමා ගෙදර නැති අඩුව පුරවනු ඇත. අම්මාට මා නැති කාන්සිය නොදැනෙනු ඇති.. මගේ අනාගත වැඩ පිලිවලට නෑනන්ඩියගේ පැමිනීම දේවාශීර්වාදයක් වනු නොඅනුමානය.සියල්ල බාධාවකින් තොරව සිදුවන බවට සිතද්දී ඇගේ සිතට දැනුනේ මහත් අස්වැසිල්ලකි.
අම්මාත් දැන් වයසයිනේ.....! අපිදෙන්නාටම ජීවිතේ කැප කලා මදෑ.."
එදින සිකුරාදාවකි.පොතේ ඇලී සිටියද උත්පලාගේ සිත තිබුනේ ගෙදරය. ගුණසේකර මහත්මිය කාමරයට එබී බලා .."දුවට කෝල් එකක් ආවා. මට විස්තරය කීවේ අල්ලපු ගෙදරක කෙනෙක්.. දූගේ අය්යා ගෙදර එද්දී කර් එක ඇක්සිඩෙන්ට් වෙලාලු.කලබල වෙන්න එපා.. දුව ලෑස්ති වෙලා මහ ඉස්පිරිතාලෙට යන්න අපේ මහත්තයා එක්ක. ඔයාගේ අම්මා එතනදී මුන  ගැහේවි."
භයානක  සිදුවීම් මාලාවක් ඇගේ ඇස් ඉදිරිපිට දර්ශනය වෙමින් ක්ෂනයකින් මැකී ගියේය.
" අනේ දෙය්යනේ මගේ අය්යා..!"


සුමනා සත්කුමාර
නොර්ත්හිල්ස්

මුල් පිටුවට