කතා පිටුව

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප

රට ගිය ගොඩයගෙ කතාව- 2
” මම ඉන්නෙ ලක්ෂරි අපාර්ට්මන්ට් එකක. හතර පස් දෙනෙකුට උනත් නවතින්න පුළුවන්. අයිය කිසි දේකට බය වෙන්න එපා. මං සේරම බලා ගන්නම්.. මෙහේ බෙහෙත් ඇඳුම් වගේ දේවල් තමා ටිකක් ගණන්. ඒ නිසා ඇඳුම් ටික විතරක් අරන් ආවොත් ඇති. මොකද මගෙ ඒව අයියට අඳින්නත් බැහැනේ…”

පුසුඹ මල්ලි පිටත් වෙන්න කලින් අවසන් වරටත් හැමෝම ඉඹ ගත්තා. හප්පා උගෙ ළඟ තියෙන පුසුඹ..
*********************************************************************************
“මල්ලී මම ගොඩය.. ගොඩය ගොඩ.. අවුරුදු 5 කටම විසා ගහ ගත්ත. දැන් මොනවද ඉතිරි වැඩ?”
දුරකතනය විසන්ධි උනා.
ගොඩයා ආයෙම පහුවදත් කතා කළා.
” ආ…මල්ලි.. ඊයේ කෝල් එක කට් උනා. මගෙ විසා- පාස් පෝට් සේරම හරි..දැන් ඊ ළඟට මොකද කරන්නේ ..?”

තප්පර ගණනාවක නිහැඬියාවක්.
ගොඩයගෙ කඩ්ඩත් පොලිෂ් නෑ. කිසිම පර්සනැල්ටි එකකුත් නෑ. පුසුඹ මල්ලි හිතන්න ඇති ගොඩයා එම්බසි එකේදී ඇන ගන්න ඇති කියල.
අවසානයේ පුසුඹ මල්ලි කතා කලා.
” හරි අයියා.. මෙහෙම කරමු.. හැමදාටම මගේ ගෙදර ඉන්න බෑ. මටත් තියෙන්න එපායැ privacy එකක්. මම මොකක් හරි රස්සාවක් හොයල දෙන්නම්. පන්සලේ උනත් නවතින්න පුළුවන්. එන දවස කියල මට කෝල් එකක් දෙන්නකෝ”

ගොඩයට පුසුඹ මල්ලිගේ කතා විලාසය ඇල්ලුවේ නෑ.
සරත් චන්ද්‍රසිරි ඉස්සර OTS එකේ වැඩ කළේ. ඌ හිත හොඳ එකා. ගොඩයගේ ගජ යාළුවා.
” මචං මම කීප දවසක් ලොස් ඇන්ජලිස් පන්සලේ ****** හාමුදුරුවොත් එක්ක කතා කරල තියෙනව. පොර හොඳයි. උඹෙ ඥාතියා පොල්ල තිබ්බොත් කෙලින්ම පලයන් පන්සලට ටැක්සියක් අරන්. ගිහින් ඇත්ත කියපන්… බය වෙන්ට එපා බං ...අඩෝ මොකද්ද බං ළමිස්සි වගේ. පිරිමියෙක් වෙයං. උඹ ගොඩ ඔය අවුරුදු 5 හරියට ඇද ගත්ත නං. කාර් හේදුවත් සල්ලිනෙ බං”

පුසුඹ මල්ලි ආයෙම දවසක් කතා කලා.
” අයියේ මෙහේ බඩු හැම දේම වගේ ගණන්. එනකොට ගේන්න පුළුවන් සේරම දේ අරන් එන්න. මතක තියා ගන්න. රැවුල හොඳටම කපන්න. රැවුල තියෙන අයට මෙහේ සලකන්නෙ නෑ. අපිරිසිදුයි කියලයි මිනිස්සු හිතන්නෙ.
( ඇයි යකෝ.. ඒබ්‍රහම් ලින්කන්ටත් රැවුලක් තියෙනවනේ.. ගොඩය එහෙම කියන්න ගියේ නෑ)
ඒ වගේම ඇමරිකාවට ගොඩ බහින කොට ඔයා ෆුල් සූට් ඇඳල ඉන්න ඕන. first appearance එකෙන් තමයි කෙනෙක් මනින්නෙ. T ෂර්ට් එහෙම ඇඳන් එන්න එපා.
මටත් මෙහේ එච්චරම අල්ලන්නෙ නෑ. මම ලංකාවට ඇවිල්ල බිස්නස් එකක් පටන් ගන්න සල්ලි එකතු කරනවා. නැත්නම් ටිකට් එක මට අරන් එවන්න තිබුණා.
ගොඩයා තමන්ට විකුණන්න පුළුවන් හැම දෙයක්ම වික්කා. අරූ ගැන විශ්වාසයක් තියන්න බැරි නිසා. ඌ මොන හේතුවකට හරි තමන් මග අරින්න හදන බව ගොඩයට තේරුනා. එහෙම උනොත් සුමානයක් දෙකක් මොටෙල් එකකටවත් සෙට් වෙන්න පුළුවන් විදියට සල්ලි ටිකක් ලෑස්ති කර ගත්තා.

ගොඩයා රට යන බව දැන ගෙන ගොඩයගෙ අම්ම වැලපෙන්න පටන් ගත්තා. අම්මලා එහෙමනේ ඉතින්.
” අනේ ඉතින් ආයෙ ලෙඩකටද දුකකටද.. මං කොහොමද උඹව දකින්නේ?”
” අම්මේ අම්මගෙ පුතා යන්නෙ ඩුබායි නෙවේ. ඇමරිකාවේ.” ගොඩයගෙ බිරිඳ නැන්දම්මට කවදාවත් නැති සෙනේහයකින් කතා කලා.
” කටක් ඇරල කියන්න පුළුවන් නේද මගෙ පුතා ඇමරිකාවෙ ඉන්නෙ කියල” ගොඩයගෙ බිරිඳ වැඩි දුරටත් කියා හිටියා. ඒත් ඒ ස්වරයෙ ගැබ් වෙලා තිබුණේ වෙනත් අදහසක්.
” අම්මා මැරුණුදාකට පත්තරේ අවමංගල තීරුවෙ දාන්න පුළුවන් නේද … මෙයට සෝකයට පත් පුතා – වරහන් ඇතුලේ USA කියල”
ආන් ඒවගේ හඬක්. එයා කොහොමටත් රඟපාන්න දස්සි.
ගොඩයා රට යන දවස කිට්ටු උනා. ගොඩයා අහල පහල තියෙන හැම දේවාලෙකටම ගියා. විශේෂයෙන් අළුත්නුවර දේවාලෙට. නිවාඩුවට ආවාම රූපෙට රූපයක් ඔප්පු කරන්න බාර උනා. දකුණු අතේ මැනික් කටුවට පහලින් තිබුනු කළු පාට උපන් ලපේ වැහෙන තරමට පිරිත් නූල්.
ගොඩයා රට යන දවසෙ වෑන් දෙකයි. දෙකම කට කපල පුරවල. එකක ගොඩයගෙ පවුලේ අය. ඒ කියන්නේ in-laws ල. ගොඩයගෙ මාර්ගෙන් ගොඩ යන්න බලන් ඉන්න කට්ටිය. අනික් වාහනේ ගොඩයගෙ අම්මයි-තාත්තයි ගමේ කට්ටියයි.
ත්‍රස්තවාදී කලබල නිසා මග දිගට චෙක් පොයින්ට්.
ගුවන් හමුදා නිලධාරියෙක් ඉස්සෙල්ලම ගිය ගොඩයගෙ වාහනේ නතර කළා.
” කොහෙද මේ කට්ටිය”
“ගොඩයා වහාම තම ලියකියවිලි පෙන්නුවා. ” කී දෙනෙක් යනවද ?”  “මං විතරයි”
මිනිහටත් හිනා. 35 දෙනෙක් විතර එක මිනිහෙකුට ටටා කියන්ට. එහෙම තමා ගම් වල උදවිය. ඔය ගමන්ම දෙහිවල සත්තු වත්තටත් ගිහින්, ගෝල්ෆේස් ගිහින් රැල්ලත් පාගල , යනින් ගමන් කැළණියත් වැඳ පුදා ගෙන යන්න ආ කට්ටිය.

ගොඩයා දැක්ක රට යන ගෑනු-පිරිමි එකිනෙකා බදා ගෙන සමු ගන්නවා. ගොඩයා හොඳටම කලබල වෙලා. excite වෙලා. හකුරු- ගම්මිරිස්- ක්‍රීම් ක්‍රැකර්- පැනඩෝල්-සිද්ධාලේප- එන්සාල්- දොදොල්- අළුවා- පුරවපු බෑග් එකයි, ඇඳුම් කැඩුම් පුරවාපු බෑග් එකයි ඇද ගෙන ගොඩයා ටිකට් කවුන්ටරේට ගියා.

මුළු එයාපෝට් එකම සුවඳයි. හරියටම ඒ සුවඳ තමා පුසුඹ මල්ලි ළඟත් තියෙන්නෙ.
ඉස්සර නම් මිනිස්සු රට ගියේ එක්කෝ ශිෂ්‍යත්වෙකට – නැත්නම් වැඩිදුර ඉගෙනීමට. මේ විවෘත ආර්තිකේ හින්ද රට බල්ලට ගිහින්.
නයිලෙක්ස් සාරි ඇඳල දෙපයට බාටා සෙරෙප්පු දාල පිළිවෙළක් නැති හෑන්ඩ් බෑග් කරේ එල්ලා ගත් මැදිවියේ ගෑණුන් ගෙන්ද , සාය හැට්ට ඇඳන් කුඩා අත් ලේන්සු පොඩි වලින් පෝනි ටේල් ගැට ගසා ගත් නෑම්බියන්ගෙන්ද එයාපෝට් එක පිරී තිබුණා. ඒ මැද පෙරදිග යන කට්ටිය.
ගොඩයා කිසි දෙනෙක් දිහා ඔලුව උස්සල බැලුවෙ නෑ. ගොඩයා වරින් වර ටයි ගැටේ චෙක් කලා. වරින් වර ස්ටයිල් එකට-ආඩම්බරෙන් ඇවිද්දා. කළිසමේ පිටි පස්ස සාක්කු දෙකට එබූ ලොකු ලෙදර් වොලට් දෙකට පිං සිද්ධ වෙන්ට ගොඩයගෙ පර්සනැල්ටි එක දැන් හොඳයි. ගොඩයා ඉන හරියෙන් බඩ ඉස්සරහට දාගෙන පුක පස්සට දාගෙන හරියටම පුසුඹ මල්ලි ඇවිදින විදියට ඇවිදින්න උත්සාහ කළා.

T ෂර්ට් ඇඳල ලොකු බාච්චු කොට කළිසම් ඇඳල දෙපයට සැන්ඩ්ලස් දා ගත්තු තරුණ ගැටව් මහත් සැහැල්ලුවෙන් හැසිරුනා. උන් නම් මැද පෙරදිග යන උන් නෙවෙයි. මූණු වලින් කියන්න බැරිද ?
ගොඩයට ඔළුව හරවන්න බෑ. කමිසේ උඩ බොත්තමට බෙල්ල හිර වෙලා. මොකද්ද මේ වදේ ? තව පැය කීයක් මෙහෙම ඉන්න වෙයිද ?

ගොඩයා ගොඩ උනේ EVA AIR ගුවන් යානාවකට. සේරටම ඉස්සෙල්ල කියන්න ඕන මේ ගොඩයගෙ පළමු ගුවන් ගමන.
ගොඩයා අඩු තරමින් මාලදිවයිනටවත්, සාරි බිස්නස් කරන්න මැඩ්‍රාස්වලටවත් ගිහින් නෑ.
වෙලාව අළුයම 1.00 ට විතර ඇති. රෑ කෑම කෑවේ ගෙදරින් පිටත් වෙන්න කලින් හවස 7.00 ට විතර. excitement එක නිසා ගොඩයට බඩගින්නක් තිබුණේ නැති උනත් දැන් නම් බඩේ පනුවෝ එකා පිට එකා නැගල ගුස්ති ඇන ගන්නව.
කෙට්ටු ශරිරයක් ඇති, හීන් ඇස් ඇති ගුවන් සේවිකාවක් ඉංබිත්තං රට කජු පැකට් එකකුයි තිත්ත දොඩම් යුෂ වීදුරුවකුයි බැගින් බෙදා ගෙන ගියා.
හැටි විතරක් ඒකිගෙ. පිට ලෑල්ලක් වගේ. ඉස්සරහත් නෑ. පස්සත් නෑ. ඒ වගේද අපේ බඩු? එන්න තිබුණේ ශ්‍රී ලන්කන් එකක. සියරට දේ- සිරි සැපදේ.

දැන් ගොඩයට මේ ලෝකෙ දෙයක් මතක නෑ. ආවේ කොහෙ ඉඳලද ? යන්නෙ කොහාටද ? ඉන්නෙ කොහෙද ? ගුවන් යානය එකම තැන නවත්වල තියෙනව වාගෙ .. අවට කිසි දෙයක් පේන්න නෑ.
ගොඩයා ලොස් ඇන්ජලීස් වලට ගොඩ බැස්සේ පැය 24 කට විතර පස්සෙ. ඒ වෙන කොට දෙතුන් වතාවක්ම කවදාවත් පාවිච්චි කරල නැති ටොයිලට් කඩදාසි පාවිච්චි කරල තිබුණු නිසා ගොඩයට දැනුනේ පුදුම අපහසුතාවයක්.

වෙලාව රෑ 8.00 ට විතර ඇති. මගී කොරිඩෝව දිගේ එළියට එන තම නෑ හිතවතුන් පිළිගන්න සූ ගාල සෙනග. සමහරු මල් පොකුරු අරන් ඇවිත්..එකට ඉඳන් පොටෝ ගන්නවා.. වැඩ හැටයි. ගොඩය හැම තැනම බැලුව පුසුඹ මල්ලිත් මල් ටිකක් අරන් ගොඩයා පිළිගන්න බලන් ඇති කියල. එහෙමයි පොරොන්දු වෙලා හිටියේ.
ගොඩයා හතර වටේ බැලුව. ඇවිද ඇවිද බැලුව. ඒ කෙළවරේ සිට මේ කෙළවර දක්වා කී වතාවක් එහාට මෙහාට යන්න ඇද්ද ?
බඩගිනියි.. චූ බරයි.. කක්ක බරයි. බෑග් එළියෙ තියල චූ කරන්න යන්නත් බෑ. ගොඩයට කොහොමටත් ඒ වැඩේට සෑහෙන වෙලාවක් යනව.
දැන් රෑ 12.00 ත් පහු වෙලා. පුසුඹ මල්ලි එන පාටක් නෑ. කෝල් එකක් දෙන්න විදියකුත් නෑ. ගොඩයගෙ හිත නොසන්සුන් හොඳටම. බඩගින්න – අපිරිසිදුකම- චූ බර-කක්ක බර — මේ සේරම එකට හිර වෙලා- අමතක වෙලා. හොඳ වෙලාවට පුසුඹ මල්ලි ගේ ගෙදර පොටෝ එකක් ගොඩය ළඟ තිබුනා. ඒක පිටි පස්සෙ ලිපිනයත් තිබුණ. ගොඩයා හිතුවා තවත් බලන් ඉන්න එකේ තේරුමක් නෑ කියල. ගියා Information කවුන්ටරේට. එතන හිටි කළු ගෑණිත් ඒක වහල දාල ගෙදර යන්න ලෑස්තිය. ගොඩයා බොහොම අමාරුවෙන් කතා කරල එයා ගෙන් ඇහුවා ඒ ලිපිනයට ටැක්සියකින් යන්නෙ කොහොමද කියල.
45 මිනිට්ස් ට්‍රැෆික් කියල කියාපි. මොන හරුපයක්ද ඒ ?

” you need a taxi ?” ගොඩයට තමාගෙ පිටුපසින් ටිකක් කරුණාවන්ත කට හඬක් ඇහුනා. ගොඩයා අර ලිපිනය පෙන්නුවා.
” යමු.. ඩොලර් 30 යි” ගොඩයා කිසි කතා බහක් නැතුව ටැක්සියට ගොඩ උනා. ටැක්සි මහත්තයා ඇසූ ප්‍රශ්න වලට දන්න විදියට උත්තර දුන්නා. දැන් වෙලාව පාන්දර 1.00 යි. එක එල්ලේ දිවෙන පාරක ටැක්සිය පැදවුනා. ඔය කාලෙ GPS ඇවිල්ල තිබුනේ නෑ. ටැක්සි මහත්තයා සිතියමක් බලා ගෙන ටැක්සිය එලෙව්වා. ගොඩයා ටැක්සි මහත්තයට කිව්වේ තමන් යන්නේ තමන්ගේ සහෝදරයගෙ ගෙදරට කියලයි. බොරුවක් නෙවෙයිනේ!
ටික වෙලාවකින් ටැක්සිය, විශාල කුළුණු , දොර ජනෙල් ඇති ගාම්භීර නිවසක් අසළ නැවතුනා.. ගොඩය අඳුර ගත්තා ගෙදර. වහාම ටැක්සියෙන් බැහැල ගිහින් දොරේ බෙල් එක ගහන්න හිතුවා.
ටැක්සි මහත්තයා ගොඩයා නැවැත්තුවා.
” වෙලාව 2.00 යි. ඕක හරියන වැඩක් නොවේ. උඹට වෙඩි කන්න වෙයි. මේක උඹේ සහෝදරයගෙ ගෙදර නම් වෙන්න බෑ”
” දැන් මොකද කරන්නේ.. මං ළඟ එච්චර ලොකු සල්ලියක් නෑ. පුළුවන් මාව මේ කිට්ටුව ලාබ හොටෙල් එකකට ගිහිල්ල දාපං”
” උඹ අවංක මිනිහෙක්. මං උඹට උදව් කරන්නම් .. අපි හෙට උදේ ආපහු මෙතනට එමු.. මේ මගේ කාඩ් එක. “

ගොඩයා ඉස් ඉසෙල්ලම කළේ නා ගන්න එක. උණු වතුර. නෑවට පස්සෙ මාර බඩගින්නක්. කන්න කිසි දෙයක් නෑ. බොන්න වතුර ටිකක්වත්. ගොඩයා කවදාවත් හොටෙල් එකක – මොටෙල් එකක නැවතිල නැති අමුම අමු ගොඩයෙක්. කරන්න දෙයක් නෑ.. පුසුඹ මල්ලිගෙ වයිෆ් – ගොඩයාගෙ නෑනා පුසුඹ මල්ලිට දෙන්න කියල එවාපු අළුවා කෑල්ලක්, හකුරු කෑල්ලක් එක්ක කාල ටැප් වතුර ටිකක් බීල නින්දට වැටුනා.
හරියටම උදේ 10.00 ට ටැක්සි මහත්තයා කතා කලා.
” මං උඹේ ඩ්‍රයිවර්.. ලෑස්ති වෙලා හිටපන්. මම 11.00 ට එනවා”

ගොඩයට පුසුඹ මල්ලී දී තිබුණු ලිපි අස්සේ තිබී තවත් ලිපිනයක් හම්බ උනා. ඇමරිකාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෙකුගේ.
ටැක්සිය වෙලාවට ආවා.
” අපි මෙහෙම කරමු. මගේ ළඟ තව ලිපිනයක් තියෙනවා. මගේ බ්‍රදර් හිටියෙ නැත්නම් අපි මේ ලිපිනයට යමු”
“උඹ හිතනවාද මෙයා උඹට උදව් කරයි කියා?”
ටැක්සි මහත්තයා සිතියම බැලුවා. මේක මේ ළඟ. අපි මෙතනට ඉස්සෙලම යමු.

මතු සම්බන්ධයි
~යතාර්තවාදියා~

මුල් පිටුවට