පින්තූරයක කතාව

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
පින්තූරයක කතාව
මෙහෙම ඉන්න කොට දැනෙන උණුසුම....ඒත් එක්කම දැනෙන කිරි සුවඳ ගැන විස්තර කරන්න මා දන්නා වචන මදි.
මාත් මෙහෙම හිටි හැටි මතකයි. 
එක්කෙනෙක් නම් බැරියැ ? දෙන්නෙක් ! එකම දවසෙ එකම වෙලාවට උපන්.. ඔවු.. නිවුන්නු..
මේ පින්තූරෙ ඉන්න වයසෙ බබාලට තමා මම කැමති. ඒ මොකද දන්නවද ? කිසි කරදරයක් නෑ. ටිකක් අඬනවා ඇරෙන්න. දෙන දෙයක් කයි. දෙන දෙයක් බොයි. ඔහේ නිදා ගනී දවසම උනත්.
ඔය කෑම රස නෑ..එපා කියන්නෙත් නෑ. වෙන දෙයක් ඉල්ලන්නෙත් නෑ. එකට එක කියා ගෙන එන්නෙත් නෑ..

ඔවුන් දෙදෙනාම මගේ නිවසට ආ දවස මට අද මෙන් මතකය.
ඔවුන් උපන්නේ ජයවර්ධනපුර රෝහලේය. නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු බව කලින්ම දැන සිටියෙමි.
රෝස පාට "ප්‍රියාශා" පමණක් කොට් එකේ මුහුණ විරූපී කර ගෙන අඬන්නට ලංව සිටියාය. "හසංගා" පෙනෙන්නට නැත. මට ගිනි පත්තු විය.
එක් අතක ගැට ගසන ලද නොම්මරයක් සහිතව රෝස පාට "හසංගා" බේබි රූම් එකේ සිටියාය.
එක්කෙනෙක් නම් දෙන දෙයක් කාල ඔහේ ඉඳී. අනෙක් එක්කෙනා නම් ටිකක් වස පාටයි. අප දන්නා හඳුනන හෙදිය අනාවැකියක් කීවාය. ඇය නිවැරදිය.
ඔවුන් දෙදෙනා මඳක් වැඩුනු පසු ..
ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ අම්මාට වඩා මට සමීප විය. දෙදෙනාටම ඕනෑ වුනේ මගේ දෙපසින් නිදා ගැනීමටය. එක්කෙනෙක් පැත්තට ටිකක් වැඩිපුර හැරුනොත් අනෙකා මොර දෙයි. "හරි මම මෙහෙම ඉන්නම්.. එතකොට කාටවත් නැහැනේ.." ඔවුනට නින්ද යන තුරුම මට උඩු බැල්ලෙන් සිටීමට සිදුවිය.
හැම උදෑසනකම මා සේවයට යන්නේ ඔවුන්ගේ "චූ" රෙදි අතින්ම සෝදලාය. දවස පුරාම ඔවුන්ගේ "චූ සුවඳ" මගේ නාස් කුහරයේ රැඳී පවතී. මම ඒ සුවඳට ආසා කළෙමි.
තවත් ටිකක් වැඩුනු පසු සෑම සෙනසුරාදා හවසකම  ඔවුන් නහවා, එකම විදියේ ගවුම් පොඩි දෙකක් අන්දවා, මූණට පුයර දමා, කොණ්ඩා මල් දෙකක් ගැට ගසා නිවස වටා ඇති ගුරු පාරේ ඔවුන් දෑලට කර ඇවිදීමට ආසා කළෙමි.
ඔවුන් දැන් විවාහ වන වයසේය. ඒත් එහෙම අවශ්‍යතාවයක් උන්ට නැත. දෙන්නාම "මහමෙවුනා අසපු" බණ ප්‍රගුණ කරමින් සිටී.
"මොකටද බඳින්නේ? බඳින්නම ඕනද "? දෙදෙනාම අසයි.
විවිධ උපහැරණ-උදාහරණ පෙන්වා ඔවුන් මගේ ලෝකයට ගෙන්වා ගැනීමට මම උත්සාහ කරමි.
ඔවුන් නොවැඩී ඉහත පින්තූරයේම ඉන්න ප්‍රමාණයටම හිටියා නම් ....යයි මට සිතේ.

~නිවීර~

මුල් පිටුවට Flag Counter