කෙටිම කෙටි කතාවක්

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
අපට කෝ අවුරුදු..?

මැටි පොලවේ පැදුරු කඩමාලෙන් එන සීතලෙන් පිබිදුනු කුසුමාවතීට මේ මැදුම් රැය විය හැකියැයි සිතුනේ පරිසරයේ වූ නිහැඬියාව නිසාවෙනි.ඈත තුරු මුදුනක සිට හඬන කොහාගේ ගී හඬ හීනයක් මෙන් දෙසවනට ගලා එද්දී ඇය තම දරු පැටියා තවත් තුරුලු කර ගත්තාය.මෙච්චර හීතල දැනෙන්නේ බක් මහේ හිරිපොද වැස්ස නිසා විය හැකිය.අතුපතරට වැහි බිඳු  වැටෙන්නේත් තාලයකට බඳුයැයි ඇයට සිතුනි.
මැටි බිත්තියත් පොල් අතු වහලයත් අතර වූ හිඩැසෙන් අඳුර පලා ගිය මඳ එලිය නින්දට තවත් බාධාවකි.වහා නැගිට ගත් ඇයට හේන්කඩ මතක් වීමෙන් කුමක්දෝ තැතිගැන්මක් හිතට දැනින.
රෑ පුරාවට වැටුනු පොද වැස්සට හොඳටම පස් බුරුල් වුනා සහතිකය.මාස ගනනක් මහන්සි වී හිටවූ බව භෝග ටික වන සත්තු විනාශ කර දැමුවොත් තමාටත් දරුවාටත් යන කල කුමක්දැයි ඇයට නිච්චියක් නොවීය.
හොඳට එලිය වැටෙන තුරු හේනට යාම භයානක ගමනකි.කිසිවකුත් නොමැති පාලු හේනේ තම සැමියාට වූ විපත ඇයට මතක් විය. හේන තම ජීවිතය කරගත් ඔහු විසකුරු සර්පයකු දෂ්ට කිරීමෙන් හේනේ මහ පොලව මත දිවි පුදා දැනට ගතවූයේ වසර එක හමාරකි.
හේන ඇගේත් දරුවාගේත් බඩවියත රකින උරුමය වූයේ එතැන් පටන්ය.
ඔලුවට දරාගත නොහැකි තරම් වේදනාවත්, අසරණ කමත් , පිරිමියකු මෙන් හේන මතම නැහීමත් නිසා තවමත් ඇගේ හිත ඔද්දල්ය.හරි හමන් කෑමක් ඇඟට නොවැටීමෙන් වූ තෙහෙට්ටුව නින්දෙන් ඇහැරුනද එසේමය. 
එදා අලුයම නැගිට දර ලිපේ ගින්දර අද්දරට වී  එකිනෙකාට කසු කුසුවෙන් කතා කරමින් තේ කහට උගුරක් බිවූ සැටි ඇයට මතක් විය.
මේ කපේදී එවැනි ආදරබර මිනිසෙකු ඇයට නැවත ලැබෙන්නේ නැත.
ඔහුගේ දයාව කරුනාව මුලු සේසතම තම පවුල විය.
දරුවාටත් තමන්ටත් දැක්වූ ඒ නිහඬ ඇල්ම මතක් වීමෙන් ඇයට උගුරේ බරට යමක් හිර වෙන්නාක් මෙන් අපහසුවක් දැනෙන්නට විය.දෑසින් වැටුනු කඳුලක් දෙකොපුල් තෙමා වැටෙද්දී ඇය කර වටා වූ කඩමාලු චීත්තයෙන් පිසදා තවමත් සුව නින්දක සිටින කොලු පැටියා දෙස සෙනහසින් බලා හිත දැඩි කර ගත්තාය.
" මට අපූරු කොලු පැටියෙක් දීල ගියා.. පුලු පුලුවන් විදියට කොලුවාව උස් මහත් කරලා උගන්නා ගත්තොත් මට හොඳටෝම ඇති..එච්චරයි මගේ මිනිහා වෙනුවෙන් මට කරන්ට පුලුවන් ලොකුම දේ...ලොකුම සැලකිල්ල...මං ඒක කොහොම හරි කරනවා.."
මොකක්දෝ ශක්තියකින් කවුරුන් හෝ අතින් අල්ලා නැගිට්ටෙවාක් මෙන් නැගිට ගත්  කුසුමාවතී කල යුතු දෑ කුමක්දැයි එකලස් සිතින් සිතුවාය.
පරක්කු නොවී හේනට යායුතුය. ටිකක් හරි එන්න පරක්කු වුනොත් කොලුවාට කන්න මුකුත් හදලා යන්ටත් ඕනි.. මාත් මොනවා හරි කෑව යුතුමය. ඊයේ රෑටත් හරි හමන් කෑමක් බඩට නොවැටුන නිසා හාමතයක්ද දැනෙයි.
ඇය වහ වහා පොල් අඩලයක් ගා ඉන් ටිකක් ගෙන මුට්ටිය අඩියේ තිබූ අන්තිම පාන් පිටි ටිකද ගෙන යන්තමට රොටී දෙකක් පිච්චුවාය.
ඇගේ සිත දෙගිඩියාවෙනි. දරුවා තවමත් නිදිය.සෙනසුරාදාවක් නිසා පාසලද නැති හෙයින් ඇහැර වීමේ තේරුමක්ද නැත.
ඇය රොටිය බෙලෙක් පිගානට දමා එය ඇතුල්පතින් වැසුවාය. වතුර පිරවූ බෙලෙක් කෝප්පයද ඒ අසලින්ම තැබුවේ වතුර පිරවූ කලයෙන් දිය ටිකක් ගැනීමට තවමත් ඔහුට නොහැකි බව මතක් වීමෙනි..දිනක් කලය ඇලවූයේ මුලු ගෙදරම මැටි පොලව දෝරේ යවමිනි. 
"පුතේ මං හේනට ගොහින් ඉක්මනට එන්නම් බඩගිනි වුනොත් රොටියක් ඇති මේසේ උඩ.මොනවා හරි දේකට ඕනි වුනොත් උඩහ ගෙදර නැන්දාට කතා කරන්ට.."
අනිත් ඇලයට හැරුනු කොලුවා යන්තමට හ්ම් කීවා පමනි.තාත්තා නැති අසරණයා.  ඒත් හේන ආල පාලු වෙලා ගියොත් අපි දෙන්නාම බඩ ගින්දරේ නොවැ..මගේ අහිංසකයාට නපුරක් කරන්ට කවුරු ඒද. කුසුමාවති තරාදියක දෙපැත්ත සම කරන්නාක් මෙන් දිගින් දිගටම සිතුවාය.
දිගටම හේනේ නොඉඳ ඉක්මනට  එන්න ඕනි. කුමක් හෝ අමතක වූවාදැයි දැන ගැන්මට පන් මල්ල විවර කර බලා රොටියත්, වතුර බෝතලයත් මිට කැඩුනු පිහි තලයත් තිබෙනු දැක පින්නෙන් ඔලුව ආවරණය කර ගැන්මට ලිපට උඩින් මැස්සේ වූ පරණපහේ චීත්තය ගෙන නිකමට ගැසුවාය. ඉන් වැටුනු රතු පැහති විශාල පැත්තෑයකු ලිප අද්දරින් නොපෙනී ගියේ ඇයව තැති ගන්වමිනි.
" දෙවියෝ බේරුවා වාගේ. ගසන්නේ නැතිව ඔලුවට දා ගත්තා නම් හරි, දරුවාගේ ඇඟට දාලා ගියා නම් හරි මොකින් මොකක් වෙයිද..?
ඒ චීත්ත කබල ඔලුවට දා ගැන්මට ඇයට දැනුනේ හිරිකිතයක් මුසු චකිතයකි.වැට අද්දරින් ඊයේ කපා බිත්තියට හේත්තු කල කොලපත ඇයට මතක් විය.
වැස්සට, පින්නට දෙකටම ඒක හොඳයි.                                            
කුසුමාවතී අබලං වූ ඉදිරි දොර හරහට දොර පොල්ල තද කර පස්සා දොරින් පිටව ඉඳි කඩුල්ල පැන අඩියට දෙකට කැලෑව මැදින් වූ අඩි පාරට වැටුනාය.
"උඹ මේ උදැහැනැක්කේ හනිකට කොයිද බං යන්නේ..?
"අනේ අක්කේ ඒයේ රෑ පොද වැස්සට හේනේ හිටවපු දේවල් ආල පාලු කරලාද කියලා බලන්ට යනවා මේ තකහනියම.."
" කෝ බං කොලුවා?"
"අනේ ඒකා තවම නිදි පැදුරේ.. අක්කේ උඹ ටිකක් බලහං ඒකා ඇහැරිලා මාව හෙවුවොත්..අක්කා මේ පං පෙට්ටියත් අරං කොයිබ ගියාද මේ උදේ පාන්දරම..?
"පණිවිඩ පිට පණිවිඩ එවපු හින්දා මං මේ ඉඳි ආප්ප වඩි දෙක තුනක් තම්බලා ගෙනිහින් දීලා ආවා තේ කඩේට.අග්ගලා, හැලප වාගේ කැවිලිත් ගෙනත් දෙන්ට කීවේ හවහට තේ බොන අයට මුකුත්ම නැත කියලා..."
ඒවාට සූදානම් වෙන්ටත් තියනවා. අතට ගනු දෙනුවක් නැතුව පිස්සු වාගේ කුසුමෝ..හාල් තුනපහ ටිකවත් ගන්ට සල්ලියක් අතට නැතුවහම...උඹට මට වඩා තේරෙනවා ඇතිනේ..?
අපි දෙන්නාම එකම ලුනු පොල් කට්ටේ..කුසුමා තනි හිතට හිතුවාය.
" මං යන්නම් අක්කේ ... ගිය පයින් එන්න්ටත් එපායැ..."
"යන්නේ හේනට, ඒත් කෝ බං උදැල්ලක්, වක් කැත්තක් එහෙම..?"
"ඒ ආයුධ හුඟාක් අබලන් හින්දා හේනේ පැල් කොටේ දාල එන්නේ..දරුවාගේ තාත්තා ඉන්දැද්දී අටෝපු ඒ පැල් කොටෙත් දැන් හොඳටෝම දිරාපත් වෙලා...ඒකේ ඉඳලා තඩි නයෙකුත් ඇදිලා ගියා මාව දැකලා.... මේ ලඟදි."
" ... පරිස්සමෙන්. ඔය පාලු හේනේ මුකුත් උනොත් අර කොලුවාට යන කල දසාව මොකක්ද..? අනේ උඹත් මේ කොලු පැටියෙකුත් එක්ක විඳින දුකක්... නරකද කුසුමෝ ආයිත් කසාදයක් ගැන හිතුවොත්.. මිනිහෙකුගේ හව් හරනයක් නැතිව උඹට පුලුවන්ද ඔය ජීවිතේ ඔය විදියට දිගටම  ගෙනියන්ට...?'
මිනිහා අකාලෙ නැතිවෙලා මහ කාලයකුත් නෑ.. මතක් වෙනකොට පපුව හෝස් ගාල යනවා. අක්කේ මං කොහොමද තව දීගෙකට හිත එකලස් කර ගන්නේ..?
කුසුමාවතී ඇසට ඉනූ කඳුලක් චීත්ත කොනෙන් පිස දැමුවාය.
" විස්සෝප නොවී ඉඳින්...... මට උඹව මගේ දීග ගිය කෙලී වාගෙම තම්යි...කොහොමහරි ජීවිතේ ගොඩ දාගන්න බලමු එන එන විදියට..කරදර ආවා කියලා ගෑනු අපි ජීවිතේ නැති කර ගන්ටයැ.."
කුසුමාවතීව අස්වසන නියාවෙන් කියූ උඩගෙදර අක්කා නිවසට යන අඩිපාරට හරුනාය.
තම හේනට යාමට නම් කිසිම හැදිචිචිකමක් නැති රත්නයාගේ හේනේ මායිම දිගේ යා යුතුය, මේ මිනිහාගෙන් දවාලට පමනක් නොව රෑටත් තිබෙන කරදරය  ගැන උඩ ගෙදර අක්කාට නොකීවි එය ගම පුරා පැතිර යාවිය යන අනියත බිය නිසාමය.
එහෙම ආරංචියක් ගියොත් මාගේ මේ හැදීගෙන එන කොලු පැටියා පාරේ බැහැලා යන්නේ කොහොමද...?කතාවකුත් හැදෙයි, මට මගේ කොලුවත් කවදා හරි නැති වෙයි..
දිනක් මහ රෑ අඩි ශබ්දයකට ඇහැරුනු කුසුමා දුටුවේ පෑල දොරට මදක් එපිටින් ගේ දෙස බලා සිටින රත්නෙයාය.අඳුරේ වුවද ඇය ඒ රත්නෙයාම බව නිශ්චය කර ගත්තාය.
ගමේ ගෑනුන්ගේ අසරණකම තම වාසියට හරවාගත් මේ මිනිහා තම මායියා නැති පාඩුව පිරිමහා ගන්නට ගෙවල් වලට රිංගන බවට කසුකුසුවක්ද තියේ.මේ මිනිහා ගේ ඇසට නොපෙනෙන්නට තමන්ගේ හේන කර ගන්නේ කෙසේදැයි සිතන විට කුසුමාවතීගේ හිතට දැනෙන්නේ මොකක්දෝ අමුතුම බියකි.
හේනේ බුරුල් වූ පස් ගොඩදා පඳුරු කිහිපයක අල කා දමා තිබෙනු දුටු කුසුමාට "අපොයි" කියවිනි.
"ආ නංගියේ .. සත්තු වැඩේ දීලා වාගේ නේද..?උඹ කැමති නම් මට පුලුවන් හැමදාම උංව අහුවෙන විදියට උගුල් අටවන්න..මසටත් හොඳයිනේ.."
මාව උගුලේ දාගන්න තමා මේ සත්ව කරුනාව.ඇයට මේ මිනිහා ගැන වසංගතයක් මෙන් පිලිකුලක්, අපුලක්  දැනින.
" ඔය පවුකාර වැඩ මගේ ඔලුවට නොදා හිටියොත් තමා හොඳ..!"
තේරුම් ගන්න කෙනෙකුට නම් මේ වචන ටික හොඳටම ඇතිය.මෙසේ කියමින්ම 
අඩියට දෙකට හේනෙන් පිටමං වූ කුසුමාවතී බොහෝ දුරක් ගොස් ආපසු හැරී බලා දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තාය.

නිමි.

සුමනා සත්කුමාර
නෝර්ත් හිල්ස්


මුල් පිටුවට Flag Counter