කවි පිටුව

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
සිංහලේ   මඟුල් දිනේ  අදයි
බක්  මහේ සිහිල් සුළං            ඇදෙයි
රන් වෑ කෑල මල්  පිපී           වැනෙයි
නෙක් දෙසින්  කොවුල් කිලූම් ඇසෙයි
සිංහලේ   මඟුල් දිනේ                අදයි

බෑර දෙස්හී ගොස් තමන්     අයත්
නන් කමේ නියුත් දනෝ    දෙ අත්
තෑගි  බෝගයෙන් පුරා        මහත්
වූ තොසින් නිවෙස් බලා    ඇදෙත්

බී සුරා ඇතැම් කෙනෙක්    එයින්
මත්වැ දී රැඟුම් අතින්         පයින් 
වාසි බස් දොඩා මහත්      වෙසින් 
එති දෙනෙත් බමා යකුන් සෙයින්

පුල් මලින් දෙඅත් - අලූත්   වතින් 
ගත් සරා ලියෝ පහත්        වතින් 
යුත් වැ විත්  ගමේ සියල්     අතින්
පන්සලේ බුදුන් පුදත්        බැතින්

ගී ගැයුම් රබන් වැයුම්      ඇසෙයි
කන් පෙළා රතිඤ්ඤ වැල් දැවෙයි
සොම්නසින්  සියල් දිසා     පිරෙයි
සිංහලේ  මඟුල් දිනේ           අදයි
~මහගම සේකර~
*************************
වසන්ත සැණකෙලිය
හිරු බැස යයි  - සඳ නැග එයි
තනිතරුවක්  අහසෙ  දිලෙයි
මල්  සුවඳක්  අවට හමයි
මඳ සිසිලක් වතට දැනෙයි

කොවුල්  නදක් දුරින් ඇසෙයි
වසන්තයක  නිමිති  ගෙනෙයි
සොමි සඳරැස් පොලව  සිඹියි
හිරු  එන   තුරු  සිසිල  සදයි

සිතුවිලි  සුවපත්   කරවයි 
බක් මහ ගැන සිහින  සදයි.
අවුරුදු   කුමරිය   කැඳවයි
ලක් වැසියන් තුටුව  රඟයි

නැවුම් හැඟුම්, අලුත් සිතුම්
වසර   පුරා   සුවය  සදයි
බුලත්  හුරුලු -සිනා පොකුරු
නෑගම්   යන්නට   කදිමයි.

කැවුම් කොකිස් තෙලේ නටයි
පුංචි   එවුන්   සිනා   නගයි
අවුරුදු     අවුරුදු      අවුරුදු 
කොයි කාටත්  මිහිර  ගෙනෙයි.

එකම  සිරිත්   විරිත්    කරයි
තරහ  මරහ  යටපත්    වෙයි
ඝන්ඨාවේ   හඬ     ගැඹුරුයි
මෙත් සිසිලෙන් හද සැනසෙයි
~සුමනා සත්කුමාර~

***************************
ජාති වාදී ගින්න
ඉන්දියන් සාගරයෙ - මුතු ඇටය වගෙ       කියා
රටේ හොඳ කිව්වෙ අපි - කවි ගීත ලිය       ලියා 
අද ඉන්න පාලකයො - අපට බොරු කිය    කියා
ජාති වාදය මගින් - ඇත රටම ගිණි           තියා

රහස් ගිවිසුම් වලට - චන්ද ටික          බිලිදුන්න
දෙමළ මුස්ලිම් පිරිස් - කැමති නැහැ  යටවෙන්න 
නීති ටික තද කරල - සිංහලුන්          මැඩලන්න
ගිය නිසයි ඇවිලුනේ - ජාතිවාදී              ගින්න

ෆුල් ෆේස් හෙල්මටය - දැම්මොතින් දඩ   කොළය
ඔලුව බේරා ගන්න - පදින අය හට              බැරිය
ගෑණු අය වහන කොට - පොලීසිය         අසරණය
කෝ නීති ඒ අයට - රජය එතනදි            ගොලුය

සිකුරාද දවස් වල - බේරුවල වගෙ            පැත්තෙ
එකෙක් නැහැ කිසි දිනෙක - හෙල්මටය දා ගත්තෙ
එදා විතරක් නොවෙයි - හැමදාම ඒ           තත්තෙ
ෆේස්බුක් වහපු එක - නොවෙයි උන් කල   යුත්තෙ

ජාතියේ කොඩිය නැහැ - සමහරුන් සලකන්නෙ
කැලෑ පාලුවෙක් විත් - විල්පත්තු      වනසන්නෙ
පොලීසිය බය වෙලා - නගුට හිර      කරගන්නෙ
බලයෙ ඉන්නා අයගෙ - දෑස ඇයි   පියවෙන්නෙ

මඩ වතුර බැටන් පොලු - කිසි දිනෙක නැහැ   උන්ට
කඳුලු වායුව ගසා - වද දෙන්නෙ              සිහලුන්ට
උන්ට නැහැ නීතියක් - පොලිසියක්         බයවෙන්ට
ඒ කරුණු ඇරඹුනා - පපු ඇතුලෙ              නලියන්ට

ජනපතියි අගමැතියි - පිස්සු හැදිලා            වගේ
කියවනව මොනව හරි - එන දෙයක් දිව      දිගේ
සිහල බොදු හැදියාව - එකමුතුව නැහැ       අගේ
විහිලු කාරයො දෙන්න - වනසන්නෙ රට   මගේ

මහින්දල එලෙව්වනෙ - එපා දැන්    කියවන්න
පාට කණ්ණාඩි ටික - හෙමි හෙමින්  ගලවන්න
හොරු රැලගෙ කෙරුවාව - වැරදි බව පිලිගන්න
ඇවිත් පෙරමුණ අරන්  - උපන් රට  රැකගන්න
ආනන්ද ගුණතිලක
******************************************************
ගඟේ මැසිවිල්ල
මං කිව්වද මගෙ තුරුළේ තුරුල්වෙලා දියකෙළින්න?
ආදරයෙන්  පැරදුනදා ඇවිදින් මා වෙත       පණින්න
කිව්වේ නෑ අම්මලාට දරුවන් මට          විසිකරන්න
ගඟ බිළිගත් බව පවසා එපා මෙමට දොස්   කියන්න

මගේ ගමන නවත්තගෙන වේලි බැඳල       හැසිරෙව්වා
යකඩ  පෙත්ත කරකවලා හැමටම විදුළිය            එව්වා
සමහරු මගෙ කුස හාරා පොළොවේ මිණි කැට හෙව්වා
එකෙක්  මළොත් දියේ ගිලී මුළු ලෝක්ම මට      රැව්වා

දොස් නගනා විට ඇතිවෙයි මගේ හිතේ කනස්සල්ල
නැවැත්තුවද කුණුකන්දල් මගේ ඇඟට  විසිකිරිල්ල?
කවදාවත්   දිගුකර නෑ මං කාටත්              දබරඟිල්ල
එහෙව් එකේ මට මොකටද උඹල පුදන මිනිස්බිල්ල?

හිමේ  ඉඳන් පැන් ගෙනැවිත් නිති සෙත සැදුවා දනහට
වස   විස මට මුහුකරළා ගඟ නැති කෙරුවා       මදිවට
මෙච්චර  කල් නිහඬ වෙලා මගෙ පාඩුවෙ මං    හිටියට
මට   නං දොස් කියනු එපා දෙගොඩ තලා ආ      දවසට
~නිමල් පෙරේරා~

මුල් පිටුවට Flag Counter