කතා පිටුව

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
රට ගිය ගොඩයගෙ කතාව- 6
ගෑණු වෙලා උපදින්නේ පවු කරපු අය කියලා මේ ළඟකදි ගොඩයා දැක්කා අන්තර්ජාලයේ සැරිසරන විට. ජනප්‍රිය රැල්ලේ එක් බෞද්ධ භික්ෂුවක් එසේ වදාරා තිබුනා. ඒක දැකපු ගොඩයගේ හිතට ආවා හොඳ කුණුහරුප ටිකක්. ප්‍රතිචාර දක්වන්න ගොඩයා පාවිච්චි කළේ පුසුඹගේ විශාල කොම්පියුටරය. ගොඩයට කොම්පියුටරේ මැජික් වගේ. ඇත්තම කියනවා නම් ගොඩයා මවුස් එක පාවිච්චි කරන්නවත් දැන ගෙන හිටියේ නැහැ. ඒ නුහුරුකම නිසාම දවසක් ගොඩයා අතින් කොම්පියුටරය stuck උනා. ඒ කියන්නේ වින්ඩෝස් ගොඩක් ඇවිල්ල ඒව ක්ලියර් කර ගන්න දන්නෙ නැතිව එහෙම්ම දාල උදේ වැඩට ගියා. හවස පුසුඹා මල්ලි ආවා. කොම්පියුටරයට වෙලා තියෙන දේ දැක්ක. ඒක මහ අවුලක් නෙවේ.
 " අයිය මගෙ කොම්පියුටරේ පාවිච්චි කළාද ?"
 " ඔවු පොඩි අප්සෙට් එකක් උනා. මම දන්නෙ නැහැ කොහොමද ඒක හරි ගස්සන්නෙ කියල"
 " මොන මගුලක් කරනවද මන්ද මේක අස්සට වැදිල " එහෙම කියාපි.
 ( මගුල කියන වචනෙ නෙවේ පාවිච්චි කලේ. ඒක ගැහැණු අවයවයකට කියන ග්‍රාම්‍ය වචනයක්. ඒක මට මෙතන ලියන්න බැරි කමක් නැහැ. ඒත් ඒ සිද්ධිය මතක් වෙන කොට මට මා ගැනම දුක හිතෙනව. ඇයි මේ වගේ පොඩි දේකට මට මේ විදියට කතා කරන්නෙ කියල.. අඩු තරමෙ මම එයාට වඩා වැඩිමල් කියන එක ගැනවත් හිතන්න ඕන )
ගොඩයගෙ හිතේ පුසුඹා ගැන වෛරයක් නෑ. ඒත් කරුණාවකුත් නෑ. හතුරෙක් කියමුකෝ.
හතුරාගේ හතුරා මගේ මිතුරා.
පුසුඹා ***නන්ද හාමුදුරුවොත් එක්ක තරහයි. ඒ නිසා ***නන්ද හාමුදුරුවෝ ගොඩයාට සමීප වූයේ පුදුම ඉක්මණට.
 " මහත්තයා.. ඔය මනුස්සයා මෙහෙට ආවේ ලංකාවෙන් ආ නැටුම් කණ්ඩායමක් එක්ක. ඔය ඇන්ඩෲ ළඟ රස්සාව හොයල දුන්නෙත් මම. මිනිහා හිටි ගමන් මා එක්ක අමනාප වෙලා මට විරුද්ධව තැන් තැන්වල කියවන්න පටන් ගත්තා.. ඇන්ඩෲ බෞද්ධයෙක්. ඉස්සර මෙහාටත් ආවා. අපට ආධාරත් කළා. දැන් අරයගෙ කීම අහල මහායාන පන්සල් වලට යනව. අනේ හොඳයි. මට කමක් නෑ"
ගොඩයත් කොම්පියුටරයක් ගත්තා. දැන් ටික ටික දේවල් දන්නවා. ගෑණු ගැන අරෙහෙම කියල තිබුණු හාමුදුරුවන්ට හොඳ පිළිතුරක් යැව්වා. කට උත්තර නැති වෙන්ටම. පිස්සෙක්. උගෙ අම්මා ගෑණියක් නෙවෙයිද ? ගෑණු නැත්නම් මේ ලෝකෙ කාන්තාරයක් වගේ වෙයි නේද ?
ගෑණු මල් වාගෙ. සමහර මල් ලස්සනයි. සමහර මල් සුවඳයි. සමහර මල් පාට පාටයි තවත් සමහර මල් වල පැණි පිරිල. ඒ හැම දෙයක්ම එහෙම වෙලා තියෙන්නෙ තම වර්ගයා ඉදිරියට ගෙන යන්නට.
ගෑණුත් එහෙමයි. සමහරු ලස්සනයි. තවත් සමහරු අවලස්සනයි කියන්න මම කැමති නැහැ .. ලස්සනෙන් අඩුයි. ඒත් ලස්සන අඩු අයට අනෙක් අයට නැති විශේෂ දෙයක් මැවුම්කාර දෙවියන් දීල තියෙනව.
ගොඩයගේ පන්තියේ හිටි විජිතා කට්ට කලුයි. ඒත් නන්දා මාලිනිගේ ගීත ගායනා කරන කොට ඇඟේ මයිල් කෙලින් වෙනව. අවලස්සන ගැහැනුන්ට කුමක් හෝ ආකර්ශනීය දෙයක් ලැබිල තියෙනව ස්වාභාවයෙන්ම.
ඒත් මේ මං කියන්න යන ගෑණිට නම් දෙවියන් වහන්සේගෙන් කිසි අනුකම්පාවක් ලැබිල නැහැ.
පන්සලේදී මට හමු වූ " චන්ද්‍රා" මිටි මහත ගෝලාකාර ශරීරයක් ඇත්තියක්. ඒ මදිවට කොරියන් මුහුණ තවත් කැත වෙන්ට කොණ්ඩෙ කොල්ලෙකුගේ වගේ කොටටම කපල.
 " ඔයා තනියමද ඉන්නේ ?" චන්ද්‍රා ගොඩයගෙන් ඇහුවා.
ගොඩයා " ඔවු" කියන්න ඔලුව වැනුවා.
 " අනේ.. ඔය වයසට මොනවටද තනියම ඉන්නේ ?" චන්ද්‍රා මනමාල බැල්මක් හෙළුවා. ඒත් ඒ බැල්මට ගොඩයාගේ එක් ශරීර අවයවයක්වත් වෙනස් උනේ නැහැ.
 " එයා ගෑණුන්ට ආස නෑ" ***නන්ද හාමුදුරුවෝ උත්තර දුන්නා. ( උන් වහන්සේට තියෙන්නෙ මහ වාචාල කටක්)
 " එහෙනම් අහවලාගෙ ජාතියේ ..."
 " ඔවු .. එයාගෙ ළඟ ඥාතියෙක්"
ඒ සිද්ධිය එතනින් ඉවරයි.
" අයියට ලියුම් වගයක් ඇවිල්ල තියෙනව.. යතුර තියෙනවනේ.. පුළුවන් වෙලාවක ඇවිල්ල අර ගෙන යන්න. කුස්සියේ මේසෙ උඩ ඇති" පුසුඹා මල්ලි ගොඩයගේ ආන්සරින්ග් මැෂින් එකේ මෙසේජ් එකක් තියලා.
ඌට ඕන කමක් තියෙනවා නම්. යනින් එනින් ගමන් දීගෙන යන්න බැරිද. ගොඩයා වැඩ කරන 7 ඉලෙවන් එක තියෙන්නේ පුසුඹා දෙවෙනි ජොබ් එකට යන පාරෙමයි. හේතුව මේකයි.. මිනිහ කැමති නෑ මිනිහගෙ ඥාතියෙක් 7- ඉලෙවන් එකක වැඩ කරනවා කියල කවුරුවත් දැන ගන්නවට. ( 7-ඉලෙවන් රැකියා කියන්නේ හදිස්සියෙන් හොයාගන්න පුළුවන්.. නීතිවිරෝධීව ඉන්නා අය වැඩ කරන; වැඩ වැඩි; පඩි අඩු රස්සාවල්) ඌ හිතන හැටියට සුද්දගෙ කිරිච්චපල්ල ලෙව කන එක ඊට වඩා නම්බුයි. මහ ඔළුව ඉදිමිච්චි එකෙක්.
ගොඩයා එක හැන්දෑවක ගියා එයාගෙ ලියුම් ටික අර ගන්න. පුසුඹගෙ කාර් එක තියෙනවා. ඒ කියන්නෙ මිනිහ ගෙදර ඇති. කාමරෙන් හිනා හඬක් ඇහෙනවා. ගෑණු හිනාවක්. කෙඳිරියකුත් ඇහෙනව. ඒක වෙන්න බෑ. පුසුඹට ගෑණු ඇලර්ජික්. කෝකටත් ගොඩයා කුස්සියේ වාඩි වෙලා ලියුම් එක එක කඩල බලමින් හිටියා. පුසුඹා ජංගි කොටේ පිටින් බාත් රූම් යන්න ආවා.
 " ආ.. අයිය ගොඩක් වෙලාද ඇවිල්ල?"
ඊ ළඟට තන් දෙකට උඩින් තුවායක් දවට ගත්තු බවලතෙක් එළියට ආවා.
ඒ අර "චන්ද්‍රා"
 " මම යන්න ඕන. පස්සෙ වෙලාවක කතා කරන්නම්."
ගොඩයා යන ගමන් එක දිගටම කල්පනා කලේ ඒ සීන් එක මොකක්ද කියල.
එදා රෑ පුසුඹ මල්ලිම කෝල් කලා.
 " උඹ මහ පුදුම මිනිහෙක්.. උඹට කෙලින් වෙනවද ඔය ගෑණි දැක්කම? . අනික උඹ පිරිමින්ටනෙ කැමති"
 " මම කැමති පිරිමින්ට තමා. ඒත් ගෑණුන්ට කැමති නෑ කියල කවද හරි කියල තියෙනවද ? මම gay නෙවෙයි මම bi-sexual .. මේව අයියලා වගෙ ගොඩයින්ට නම් මැජික් වගේ ඇති. ජීවිතේ රස විඳින්න අළුත් අළුත් දේ අත් හදා බලන්න ඕන. ඔය ගුහාවෙන් එළියට එන්න. ලෝකය අපි දකිනවට වඩා සුන්දරයි. අපි ලෝකෙ explore කරන්න ඕන"
ගොඩයට දැන් වයස 40 ක්. තරුණයෙක් නෙවි. ගොඩයා නොදන්න දේ තව කොච්චර ඇද්ද ?
පුසුඹා මල්ලි ලංකාවට ගියා මාසෙකට , ඒ මොකද කියනවා නම් එයාගෙ බොස් එහෙමත් නැත්නම් පෙම්වතා නිවාඩුවක් සඳහා ජර්මනිය බලා ගිය නිසා.
ගොඩයගෙ බිරිඳ කතා කලා.
 " මෙන්න මෙයා- පුසුඹා මල්ලි - මෙහේ ඇවිල්ල. දෙන්නගෙ මොකක් හරි හුටපටයක්. නංගි අඬනවා. ඔයාට බැරිද පුසුඹ මල්ලිට කතා කරල අහන්න ප්‍රශ්නෙ මොකද්ද කියලා ?"
 " මට බෑ.. ඕකා මහ බක පණ්ඩිතයා"
එයා ආයෙම පහුවදත් කතා කලා
" තාම රෙජිස්ටර් කරල විතරනේ.. මෙයා නංගිට එහෙ මෙහෙ යන්න කතා කරනවා. ගෑණි කැමති නෑ"
 " රෙජිස්ටර් කලා කියන්නෙ නීතියෙන් බැඳිලයි ඉන්නේ. තමන්ගෙ කෑම එක කොයි වෙලාවෙ කෑවාම මොකද ?"
ගොඩයගෙ වයිෆ් හිකි-හිකි ගාල හිනා උනා. එයාට මොකද්ද මතක්වෙලා.
 " ඔය ටීචර්ස්ලගෙ හැටි නේ.."
 ( මම කලින් කියල තියෙනවද මන්ද ගොඩයගෙ නෑනා - පුසුඹා ගේ බිරිඳ වෙන්ට ඉන්න එක්කෙනා ගුරුවරියක්)
" ඔයා ටිකක් පහදල කියන්න නිකම් මළ මිනියක් වගේ ඉන්න එපා කියල"
 " අනේ.. මට පුළුවන්ද ඕව කියන්න"
 " එහෙනම් මට දෙන්න ෆෝන් එක.. මම කියන්නම්"
 " ආ මෙන්න ඉන්නවා...."
 " අයියේ.. ගොඩයා අයියේ . මෙයා මහ අමුතුයි. එයා කියන ඒව මට කරන්න බෑ"
මට තේරුනා වැඩේ හැටි. පුසුඹා බදාදට ඕෆ්. හැම බදාදාම මිනිහ රෑට කාමරේ දොර වහගෙන බ්ලූ ෆිල්ම් බලනවා. බ්ලූ ෆිල්ම් වල තියෙන ඒව මේ යකා ගෑණිත් එක්ක කරන්න හදනව වෙන්නැති එකත් එකටම.
 " ඕව ඔහොම තමයි. ටිකක් ඉවසීමෙන් එයාට කැමති වෙන්න. කසාද බැඳපු හැමෝම ඕව කරනව.. ඔයා ස්ටාෆ් එකේ යාළුවන් ගෙනුත් අහල බලන්න. හැබැයි ඔය පැන්ශන් යන්න කිට්ටු නාකි ටීචර්ලගෙන් අහන්න එපා. අළුත බැඳපු කෙනෙකුගෙන් අහල බලන්න. නැත්නම් අක්කගෙන් අහන්නකෝ..."
 " චික් විතරක්.."
ගොඩයා කියන්නෙ පින් කඳක්. ගිය ආත්මයේ අටුවට පුරවාපු "වී" තාම එහෙම්මමයි. ටිකක්වත් අඩුවෙලා නැති හැඩයි. පින් පල දෙන්නේ පෝලිමේ. ගොඩයා adult school එකක රෙජිස්ටර් උනා කොම්පියුටර් සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
ගොඩයා හිතන් හිටියේ excel එකෙන් කරන්න පුළුවන් ඉරි ගහන එක විතරයි කියල. පොච්චියේ.. ඒකෙන් කරන්න පුළුවන් දේවල්.
ගොඩයා ඩ්‍රයිවින් ලිඛිත පරීක්ෂණයෙන් එක පාරින්ම පාස් උනා. ඊ ළඟට ඩ්‍රයිවින් ඉගෙන ගන්න ඕන. ඒකට පුසුඹා මල්ලි ආවාම උගෙ කාර් එකෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ( කියල ගොඩයා හිතා ගත්තා )
අරුණ් රෙඩ්ඩි.. ධනවත් ඉන්දියන් ජාතිකයෙක්. ගොඩයාට මාට්ටු උනේ පතා ගෙන -කියා ගෙන ආ හැටියට. ගොඩයගෙ විස්තර අහල ගොඩයා ගැන පැහැදුනා.
 " තමුසේ. එනවා මගෙ ඔෆීස් එකට. මම තමුසෙට මීට වඩා ගෙවන්නම්"
7-ඉලවන් එකේ ගොඩයට පිරිසිදු කිරීම් කරන්නත් ඕන. ලංකාවෙ රස්සාව කරන කාලෙ.. එහා මේසෙ තියෙන ලිපි ගොනුව තමන් ළඟට ගන්නත් පියන් කියල සේවක මහතුන් හිටියා අතට පයට. 7-ඉලෙවන් එකේ ඇතුල විතරක් නෙවි.. එළියෙ පාකිං එකත් අතුගාන්න ඕන. ගොඩයගෙ හිතේ දෝංකාර දුන්නා ආයෙ කවදාවත් එයාට white collar රස්සාවක් කරන්න බැරි වෙයිද කියන එක.
පුසුඹා මල්ලි ආපහු ආවා.
 " මොන රෙද්දක්ද අයියේ.. ඒකි බුදියන්ට ලෑස්ති වෙලා වාර සටහන් හදනව. පන්තියේ ළමයින්ගෙ විස්තර කියනව මා එක්ක... ඇඳට ගොඩ වෙන්ට ඉස්සර බුදුන් වඳිනව. බැරි වෙලාවත් " හිට්ටොත්" එහෙම හොඳ ලස්සන , මොළේ තියෙන පැටියෙක් ලැබෙන්නෙ එතකොටලු... මං හිතන්නෙ ටිකක් මොළේ හොඳ මදි වගේ.."
 " ඒක නං අක්කටත් තියෙනව"
 "මං ඒ මගුල නීතියෙන් ඉවරයක් කරල දාලයි ආවෙ"
7-ඉලවන් ජීවිතයට ආයුබෝවන් කිවූ ගොඩයා අරුණ් රෙඩ්ඩි මහතාගේ කාර්යාලයට ගියා. ඒක ලස්සන ගොඩනැගිල්ලක්. අරුණ් රෙඩ්ඩි මහතාට jack-in the box කියන fast food restaurant 40 ක් විතර ඇමරිකාව පුරා තිබුණා තැන් තැන් වල. ඒවායෙ සේවය කරන 500 ක් විතර සේවකයින්ට පඩි හදන එකයි ගොඩයට පැවරුනු රාජකාරිය.
 "This is your desk" කියල ඉටිකිරිස් කෑල්ලක් ඇවිත් ගොඩයගෙ මේසෙ පෙන්නුව. මේසෙ උඩ කොම්පියුටරයක් සහ දුරකතනයක්.
ගොඩයා හිතුවේ තමන් හීනයක් දකිනවා කියලයි. ගොඩයා අළුත්නුවර දේවතා උන්නාන්සේගේ පින්තුරය හිතින් මවා ගෙන පින් දුන්නා.
ගොඩයා ඩ්‍රයිවින් ටෙස්ට් එකත් පාස් කර ගත්තා. ඊ ළඟ පිම්ම කාර් කබලක් ගන්න එක.
පන්සලේදී ජාගොඩ මහත්තයට මේ විස්තරේ කිව්වා. ගොඩයගෙ සීග්‍ර දියුණුව අහල ජාගොඩ මහත්තයා අවංකවම සතුටු උනා.
 " මම කියන්නම්. පරණ කාර් එකක් ගත්තොත් ඔයාට හැමදාම හද හදා ඉන්න වෙයි. අළුත් එකක් ගන්න. අවශ්‍ය උනොත් මම ඇපේට අස්සන් කරන්නම්.. ඔයාගෙ පඩියෙ හැටියට ගෙවන්න බැරි කමක් නෑනේ..?"
අන්න නියම මිනිස්සු.
ගොඩයා ගත්තා බ්‍රෑන්ඩ් නිව් කිරි ටොයියෙක්. හප්පා ඒකෙ ඇතුළෙ සුවඳ. ඉස් ඉසෙල්ලම පන්සල් ගිහින් පිරිත් වතුර ඉහල දෙහි ගෙඩි හත අටක් පැන්නුව.
ඊ ළඟ සෙනසුරාදා හොඳට නා ගෙන හොඳම සූට් එකකුත් ඇඳ ගෙන ඊටම ගැලපෙන ජැකට් එකකුත් දා ගෙන ගොඩය මේ යන්නේ පුතය වගේ.. පුසුඹා මල්ලි බලන්න. තව එක දෙයයි අඩු. ඒ නළලට දා ගන්න සන් ග්ලාස් කුට්ටමක්.
 " පුසුඹා මල්ලි මං ආවෙ මට ලියුම් එහෙම ඇවිල්ලද කියල බලන්න"
ඒ බොරුවක් කීවේ. ටික වෙලාවක් දෙන්න වල් පල් කතා කර කර ඉඳල....
 " මං එහෙනම් යන්නම් .."කියල නැගිට්ටා.
 " අයියා ඉන්න.. මං ගිහින් දාන්නම්."
 " නෑ ඕන නෑ..මම කාර් එකක් ගත්තා"
පුසුඹා මල්ලිගෙ මූණ කොරහක් විතර උනා. ඉරිසියාවෙ උල්පත.

( මතු සම්බන්ධයි )
~යතාර්තවාදියා~


මුල් පිටුවට