නොමැරෙන මිනිස්සු

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
නොමැරෙන මිනිස්සු
ගුවන් විදුලිය විශ්මිත මහාර්ඝ වස්තුවක් වූ මගේ ළමා කාලයේ උදේ හවා අසන්නට ලබුණු මා සිත් ගත් ගී කීපයකි.
දකුණු නැගෙනහිර බටහිර උතුරට එක කොඩියේ සෙවණේ...
අභිමාණනීය නවෝදයේ ...
මේ ගී ගායනා කර ඇත්තේ අයිවෝ ඩෙනිස් විසින් බව පසු කලෙක දැන ගන්නට ලැබිණි. එතුමාගේ වියෝගය අසා අවංකව දුක් වූයෙමි. එතුමා ගැන යමක් ලිවීමට තොරතුරු සොයමින් ඉන්නා විට අනතර්ජාලයෙන් මෙම ලිපිය සොයා ගත හැකිවිය. එයම මා හිතවත් ආනන්ද මාකලන්ද සහ භද්‍රජී විසින්ද මට එවා තිබිණි.
එකල බම්බලපිටියේ "සිරිසඳ" නම් ලැගුම්හලක් විය. 1952 වසරේ දින කීපයක් සුනිල් සාන්තයන් එහි නේවාසිකව විසූ අතර ,එක් උදෑසනක ඔහු ස්නානය කරන අතර තම ගීයක්වූ "වරෙන් හීන් සැරේ" නම් ගීය ගුවන් විදුලියේ වාදනය වනු ඔහු අසා සිටියේය. 
තමන්ට කිසි කලෙකත් සිදුවූවා යයි මතකයක් නැති සුළු අඩුපාඩු කීපයක් වරින්වර ගායනයේ මතුවීම නිසා නිසා වික්ෂිප්ත වූ සුනිලුන් ස්නානය හැර දමා වඩා හොඳින් ගීය අසන්නට විය. මොහොතකින්, මේ නම් තමා නොවන බව වටහා ගත්තද, කට හඬේ ඇති සමානත්වය සහ ගැයුමේ අපූර්වත්වය ඒ වනවිටත් ඔහුව විශ්මයට පත් කර තිබිණි.
තවත් තත්පර කීපයකින් ගීය හමාර වූ පසු නිවේදකයා, " ඒ ගායනය සීදූවේ අයිවෝ ඩෙනිස් ගෙනි" යැයි අත්පොලොසන් නාදයක් මැද පැවසීය. තම හඬට අතිශයින් සම හඬක් හිමි මේ තරුණ ගායකයා දැක ගන්නට සුනිලුන් තුල මහත් ආශාවක් වැඩිනි. ඔහු තම සිසු පැට්‍රික් දෙනිපිටියට මේ බැව් සැල කර සිටියහ. කීප දිනකින් පැට්‍රික් මෙම කෙසඟ උස් තරුණයා සුනිලුන් වෙත කැඳවා ගෙන ආයේය.
ආධුනිකයාගේ වත-ගොත දැන් ගැනීමෙන් පසුව, ඔහුට තම සංගීත පන්තියට එක්වන්නැයි ඇරයුම් ලැබිණ. මඳක් විළියෙන් මෙන් තරුණයා ඒ ඇරයුම බැහැර කළේ " මාස්ටර්. මට ඒකට ගෙවන්න සල්ලි නෑ" යි පවසමිනි." මුදල් අවශ්‍ය නැහැ. ඔය ළමය එන්න" මේ එදා සුනිල් ශාන්තයන්ගේ පිළිතුර විය.
එවකට සුනිලුන්ගේ සෙවනෙහි සංගීතය හැදෑරූ නිමල් ගුණරත්න,රෝහිත ජයසිංහ (පසු කලෙක සියැක් වාදක කණඩායමේ නායක ) තිලක් සුදර්මන්, එච්.එම්.ගුණසේකර, පැට්‍රික් දෙනිපිටිය ආදීන්ට අයිවෝ ඩෙනිස්ද එකතු විය.
ටික කලෙකින්ම සිසු අයිවෝ තම ප්‍රතම ස්වතන්ත්‍ර නිර්මාණය වන ,තිලක් සුදර්මන් ලියූ සහ සුනිලුන් සංගීතවත් කල්" කුරුළු පරාදීසයේ, කුරුළු සිහින සාගරේ" නම් ගීතය ගැයීය.
මේ ගුරු-ගෝල සබඳතාවය කෙතෙක් දැඩිව වැඩුනේ සහ අයිවෝ කෙතරම් හොඳින් ශිල්ප හදාලේදැයි කිවහොත්, රේඛාව චිත්‍රපටයේ ගායනා සහ සංගීත වෘන්දයන් මෙහෙයවීමට සුනිලුන් තමන් වෙනුවට අයිවෝ ඉන්දියාවට යැවීය.
මෙය රේඛාව නිපැයූ ලෙස්ටර් මඳක් වික්ෂිප්ත සහ කණස්සල්ලට ලක් කල කරුණක් වුවද සුනිලුන්ට ඒ ගැන සැකයක් ඇති නොවීය. එහි ගිය අයිවෝ තම රාජකාරිය අකුරටම කලා පමණක් නොව "අනුරාපුර පොළොන්නරුව' යන ගීයද කදිමට ගැයීය.

මෙලෙස සුනිල් සාන්තයන් ඇසුරේ එහි වැඩුනු අයිවෝ, කේමදාසයන් වෙතට ගෙන යන්නේ ටී.එම්.ජයරත්නයන්ය. ඒ " අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන" නම් ප්‍රේමදාස ශ්‍රී අලවත්ත ලියූ ගුවන් විදුලි පර්යේෂණ ගීයට ගැඹුරු කට හඬක් ඇති ගායකයෙකු සොයමින් සිටි අවදියේය. ඉන් පසුව කේමදාසයන්ට අයිවෝ නැතුවම බැරි වීය.
කේමදාස-අයිවෝ සුසංයෝගය බිහි කල සියලු ගීත අතර"උදුම්බරා" සහ "පිනට උපන් මිනිසුන් සිටිනා රට" යන ගී ද්විත්වය අති සුවිශේෂය. එපමණක්ද නොව කේමදාසයන්ගේ කැන්ටාටා , ඔපෙරා සියල්ලටම තම ඉදිරිපත් කිරීම් සඳහා අයිවෝ ගෙන් ලද මනා පිටිවහලට කෘතගුණ දක්වනුවස් කේමදාසයන් විසින් අයිවෝ උපහාර උළෙලක්ද පවත්වන්නට යෙදුනු අතර , එය සංගීතඥයෙකු විසින් ගායකයෙකු වෙනුවෙන් කල එකම උපහාර උළෙල විය හැකිය.
එමතුද නොව, ෂෙල්ටන් ප්‍රේමරත්න, මකුලොළුව, අමරදේව ඈ සියළු මුල් පෙළේ සංගීතඥයන් හා එක්ව උසස් නිර්මාණ කල අයිවෝ ඩෙනිස් කලාතුරකින් දකින්නට  අසන්නට ලැබෙන ගැඹුරු සහ මිහිරි කට හඬකි. සුනිල් සාන්තයන් හෝ කේමදාසයන් තව ටික කලක් ජීවත්ව සිටියා නම් අපිට මෙයට වඩා රසවත් නිර්මාණ අයිවෝ හඬින් අසන්නට වාසනාව ලැබෙන්නට ඉඩ තිබිණ.