කෙටිම කෙටි කතාවක්

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
පෑල දොරින් එන නෑයෝ......

"රංජනී රංජනී, මෙහෙට වරෙන්කෝ ඉක්මන් කරලා, ඉක්මනට පය ඉක්මන් කරලා..."
"මොකද අම්මේ මේ කෑ ගහන්නේ හරියට නිකම්..."
"නිකම් තමයි...මේ ඇවිත් බලපන් ඉක්මනට... බය වෙච්චි පාර මගේ අතේ තිබිච්චි ඇතිලියත් බිමට වැටුනා..."
රංජනී දුටු දර්ශනයෙන් ගැස්සී ගියේ බියෙන් සලිත වෙමිනි. කලයුත්තේ කුමක්  දැයි අදහසක් නො එයි. අම්මා කුස්සියේ ලිප ලඟය.අතිවිශාල යැයි සිතිය හැකි නාගයකු දරන ගසා ගෙන  කඳ උස් කරගෙන මහත් වූ පෙනය නොසෙල්වනසේ පුප්පා ගෙන අම්මා දෙස බලා සිටියේ ගොදුරකට කුරුමානම් අල්ලනවාක් මෙනි.
'මූ කොහොමද මෙතෙන්ට ආවේ....ඊයේ රෑත් හිටියද දන්නේ නෑ.....බුදු අම්මෝ....."
"රංජනියෝ බණ කතා කරනවාද ..? මං කොහොමද කුස්සියේ දොර ඇරගෙන එලියට දුවන්නේ...ගේ ඇතුලට එන්නත් බෑ.. මේ සතා ඉන්න තාලෙට.. මොකක් හරි ඉක්මනට කරපන්..."
" අනේ ඇත්තමයි.. අම්මා වංගෙඩිය උඩ තියන ලැල්ලට ගොඩ වෙන්න..මං මෙතන දොර වහන්නම්.. පරිස්සමට ඉන්න.. මං එනකම් මූ කොහාටද ඇදෙන්නේ කියලා ඇහැ ගහ ගෙනම ඉන්න...පොඩි දෙන්නෙකුත් ඉන්න මේ ගෙදර දෙයියෝ පෙන්නුවා වාගේ අම්මා මූ දැකපු එක..මං අල්ලපු ගෙදරට කතා කරලා ඉක්මනට එන්නම්.."
"සෝමෙ  අය්යේ, නන්දක්කේ අනේ ඉක්මන් කරලා මෙහේට එනවාද.?"
රංජනීගේ කෑ ගෑමට නන්දා ජනේලයෙන් එබිකම් කර බලා
" ඇයි ඇයි හදිස්සියක්ද..?" 
"ඔවු ඔවු කෝ සෝමෙ අය්යා ඉන්නවාද.....?
"බයිසිකලේ හෝදනවා...ඉන්න මං කතා කරන්නම්.."
"සෝමේ ඉක්මනට එන්න හදිස්සියක්ද කොහේද රංජනී නංගි කතා කරනවා.."
අනේ අය්යේ විශාල නාගයෙක් අපේ කුස්සිය.... ඇතුලේ  අම්මත් කුස්සියේ මම මැද දොර වැහුවා...දැන් අපි මේකට මොකද කරන්නේ..? ඔයාලගේ ලොකු ටෝච් එකත් අරගෙන එන්න.."
තිදෙනාම දැන් කුස්සියට පිවිසෙන දොර අභියසය.
"අම්මේ, අම්මේ ඔය සතා කොහේට හරි ඇදුනාද..?''
"අනේ නැහැ මා දිහාම බලා ඉන්නේ හරියට අඳුනන කෙනෙක් දිහා බලා ඉන්නවා වාගේ.."
තිදෙනාම මූණට මූණ බලා සිනා පහල කලහ.
"ඇයි අම්මා ඔය නයි රජ්ජුරුවන්ව කලින් දැකලා තියනවාද..? හිමීන් සැරේ බැහැලා අඩියට දෙකට අපි ලඟට එන්න.."
රංජනී මැද දොර බාගෙට අරිමින් කීවාය.
"සෝමෙ අයියේ මූ හෙලවෙන්නේවත් නැහැනේ... කොහොමද එලවන්නේ බූමිතෙල් ගහමුද...?"
"අපෝ ඒක හොඳ නහැ.. කලබල වෙලා කොයි අත දුවයිද දන්නේ නැහැ..විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා කීවාලු..කවුද දන්නේ හැපින්නක්ද කියලා... එහෙම වුනොත් මහා ගොඩක් පැටවු බෝ වේවි.."
"ඔයාල ඇහැ ගහ ගෙනම ඉන්ට, මං ටක් ගාලා එන්නම්.. මගේ ඔලුවට හොඳ අදහසක් ආවා..."
සෝමෙ අය්ය  දිග බටයක් ගෙන ආවේ එහි කොන ඇටවූ කම්බි උගුලක්ද සහිතවය. බැලූ බැල්මට ඉන් සතෙකු ගල ග්‍රහනයෙන් ගත හැකිය.
"අනේ ඔය සතාට හිරිහැරයක් නම් කරන්ට එපා...අපිට කරදරයක් කලේ නෑනේ...මට මහ අමුත්තක් දැනෙනවා...උඹලඟේ මියගිය තාත්තාද කවුද දන්නේ... මෙහෙම නාග වේශයෙන් ඇවිත් ඉන්නේ..."

"අනේ විකාර නැතිව ඉන්න අම්මේ.. තාත්තා නැතිවෙලා මාස හයයි...මූ හද්දා වයස නාගයෙක්..."
අම්මා නිහඬවම ඇගේ කාමරයට ගියාය.
මහා යුද්දයක් කල සෝමෙ අයියා නයාව ඇදගෙන ගියේ හබකයට උගේ හිස තදවන ලෙසය.
ඌ ඇඹරෙන විට බඩවත පෙදෙස කහපාටින් පෙනුනා පමනක් නොව කෙතරම් දිගද යන්නද මනාව පෙනිනි.
අම්මා මේ සියල්ල බලා සිටියේ ඇගේ කාමරයේ ජනෙල් රෙද්ද මෑත් කරගෙනය.
" මට තමා පවු.. ඒත් සෙල්ලම් කරන්ට අපේ දෙන්නත් එනවානේ මෙහේට..මූව නිකම් ඇරලා නම් බෑ..."
ඔහුගේ වදන් කාමරයේ සිටි අම්මාටද ඇසෙන්නට ඇත.
නයි නාඩගම ඉවරවී බොහෝ වේලාවක් යන තුරුද අම්මා එලියට නා බැවින් රංජනී දොරට තට්ටු කලාය.
"ඇයි අම්මේ හාල් ටික තාම මුට්ටියේ ..පෙඟිලත් ඇති..උයන්නැතිදද...?"
"මගේ ඇඟට හරි නෑ දුවේ.. ඒ ටික ලිපේ තියාපං මං ටිකක් ඇලවිලා ඉන්නම්..."
"ඇයි අම්මාට සනීප නැතිද..?
උදේ හොඳට හිටියා නොවැ මොකද මේ හිටි හැටියේම..."
"එහෙම එකක් නෑ රංජනියෝ .. මගේ හිතට හරි නෑ අර නාගයා පෙනේ කරාන නොසෙල්වී මා දිහාම බලා හිටිය හැටි මැවිලා පේනවා...අනේ ඒ  අහිංසක සතාට සෝමෙයා මොනවා කලාද දන්නේ නෑ..කවුද දන්නේ උඹලාගේ තාත්තාමද ඔය විදියට ඇවිල්ලා හිටියේ.කියලා ..මට හරි අමුත්තක් දැනෙනවා..."
" ඕක හිතෙන් හදා ගත්තු මනස්ගාතයක්...තාත්තා අපිට ආදරෙන් නාගයෙක් වෙලා ආවා කියලාද අම්මා මේ කියන්නේ...ඕවාගේ විශ්වාස ඉන්දියාවෙත් තියනවා.. අමතක කරලා දාන්ට..."
උයා පිහා ඉවර වුනු රංජනී මව ඇමතුවාය. 
"එන්න අම්මේ කන්න....... දැන් හවස දෙකත් පහු වෙලා.."
"මට කන්න පිරියක් නෑ .. පස්සේ කන්න බලන්නම්.."
අම්මා මොකක්දෝ මානසික ගැටලුවක සිටින්නාක් මෙන් රංජනීට හැඟිනි.
" මොකක්ද අම්මේ ප්‍රශ්නේ මේ නයි පතයෙක් හින්දා අම්මාට උදේට කන්නත් බැරි වුනානේ..එන්න, එන්න  මට හරි බඩ ගිනියි.."
රංජනී ඇවිටිලි හඬින් මව ඇමතුවාය.. අම්මා එලියට එන පාටක් නැත..
කවුදෝ දොරට තට්ටු කරන හඬ මේ අතරතුර ඇසුනෙන් රංජනී එදෙසට ගියේ තට්ටු කරන්නාට දොර ඇරෙන්නේ නැති බැවිනි.
" ආ මේ යසවතී නැන්දානේ,, මොකද හදිසියක්ද...?"
"අනේ නෑ දුවේ මං දැක්ක තඩි නයෙක් අල්ලා ගත්තා දුවලාගේ කුස්සියේ ඉඳලා කිය කියා සෝමෙ ළමයා  බයිසිකලේ පදිනවා..අනේ ඌව මරයිද දන්නේ නෑ.. දන්නවාද දුවේ ඔය මළගිය නෑයොත් එනවානේ ලෙන්ගතු කමට ගෙවල් ඇතුලට..."
"මොන පිස්සු කතාද ඕවා...ගෙම්බෙක් හරි මීයෙක් හරි පස්සේ පන්නා ගෙන එන්නැති.. කුස්සියේ දොර ඇරල තිබුනු හින්දා ඌ ඇතුලට ඇදිලා තියනවා.. අපේ අම්මත් ඕවාගෙම විකාර කතාවක් කීවා නොවැ"
"වැඩිහිටියෙක් මොනවා හරි කීවොත් උඹලාට විකාර කතා..කෝ දැන් අම්මා..?
යසවතී නැන්දා අමනාපයෙන් මෙන් කීවාය.
" නිදි උදේම නැගිට්ට හන්දා"
"එහෙනම් මම යනවා දුවේ, පස්සේ වෙලාවක එන්නම්කෝ පරිස්සමෙන්.."
රංජනී සැනසුම් සුසුමක් හෙලමින් ඉක්මනින් දොර වැසුවාය.
ඉන්දියාවෙන් ආපු නාග විශ්වාස තමා ඕවා... අනේ මේ අම්මන්ඩිලා කවදා මේ විශ්වාස වලින් මිදේද මංදා...රංජනී තනි හිතට හිතුවාය.
කාමරයෙන් වහා එලියට ආ අම්මා ,
"මං කීවොත් උඹලාට බොරු.. ඇහුනා නේද නාගයෝ ගැන වැඩිහිටියෝ හිතන විදිය,,අනේ මේ අහිංසක සතාට අර සෝමෙයා  මෙලහකටත් මොනවා කලාද දන්නේ නෑ.."
අම්මා පහත්වී චීත්තයෙන් කඳුලක් පිසුවාය.
"අපොයි දෙය්යනේ මේ නයි එක්ක වසන්න කියලාද මේ දෙන්නාම කියන්නේ...?

...................නිමි................
සුමනා සත්කුමාර






මුල් පිටුවට