කෙටිම කෙටිකතාවක්

කවි පිටුව  කතා පිටුව ගීත කතන්දරය රේඩියෝව පෙර කලාප
සසර බන්ධන

බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ දුක් වේදනා, චිත්ත සංතාප නැත...
සසර කෙලවර කරන්නට නම්  නිවන් සුව හැරෙන්නට වෙනත් මගක් ඇත්තේම නැත. මේ දුක් ගිනි වල කෙලවරක් දකින්නට මෙලොව උපන් කිසිවකුට හැකි වන්නේ නැත...මිනිසුන්ට පමනක් නොව, තිරිසන් සතුන්ටද, මරණය ඉතා සමීප පොදු ධර්මතාවයකි...
මුහුනේ අඩක් පෙනෙන සේ වටාපතින් ආවරණය වූ හිමිනමගේ ශාන්ත වූ දේශනයට සවන් දුන් සැවොම සාධුකාර දුන්හ.එසැනින් සිරිසේනගේ සිතුවිලි දාමය බිඳ වැටී සිහි එලවා ගත් ඔහු වට පිට බැලුවේ තම ප්‍රිය බිරිඳ නාලිනී කොහිදැයි දකින අටියෙනි.
වැගිරෙන කඳුළු සාරිපොටෙන් පිස දමමින් වියපත් මවකගේ කයට වාරු දුන් ඇය දෙවුර සොලවමින් කාටවත් නොඇසෙන සේ තම ඉකිබිඳුම වලකාගන්නට මහත් ආයාසයක් ගනු සිරිසේන දුටුවද ඇය සනසන්නට ඔහුට කිසිදු අවකාශයක් නොවීය.
"අපි අපේ දරුවන්ට ආදරෙයි...ඔවුන් වෙනුවෙන් කරන  කැප කිරීම් තුල දෙමාපියන්ට වෙහෙසක් දැනෙන්නේ නැහැ. බොහෝ භෞතික දේ එකතු කරනවා,ඔවුන්ගේ ජීවිතය සැපවත් කරන්නට...ගෙවල් දොරවල්. වතු පිටි, මිල මුදල් ඒ විතරක් නොවේ ඔවුන් කෙතරම් මුරණ්ඩු කම් කලත් , නොසලකා හැරියත් තම දරුවන්ට දක්වන සෙනහසේ කිසිදු අඩුවක් කරන්නේ නැහැ....
ඉහත කී කරුනෙන් ගුන ධර්ම වලින් පිරිපුන් මානව හිත වාදී සුන්දර දරුවකු ලබන දෙමාපියන් තමන් මෙලොව සිටින වාසනාවන්තම දෙමාපියන් ලෙස සිතනු නොඅනුමානයි....එවන් දරුවකු වෙනුවෙනුයි මේ ධර්ම දේශනය..." 
හිමි නම මොහොතකට හඬ බාල කලේ නාලනීගේ වැලපුමට ඉඩ දීමට මෙනි.වාඩිවී සිටි දරු දැරියෝ කුතුහලයෙන් බලද්දී බොහෝ වැඩිහිටියෝ කඳුලු පිස දමනු සිරිසේන දුටුවේය.එහෙත් තම එකම දරුවාගේ පියා ලෙස පිරිස ඉදිරියේ මුහුණ සඟවා ගන්නට ඔහුගේ හිත ඉඩ නොදිනි.
" මගේ හිත ගල් වෙලාද..?"
සිරිසේන තමාගෙන්ම ප්‍රශ්න කලේ දෑතින්ම පපුව පිරිමදිමිනි.තම පණ මෙන් රැකි එකම දරුවාගේ වියෝව නාලිනී කෙසේ නම් විඳ දරා ගන්නද...?සිරිසේන සීරුවට නැගිට පෑල දොරින් එලියට ගියේ තව දුරටත් පපුව තෙරපන වේදනාව පිට කිරීමට එලිමහන තරම් සුදුසු තැනක් නැති හෙයිනි.
ඔහු මිදුලේ අඳුරු වදුලකට ගොස් ජීවිතයේ කිසිදිනක නොහෙලූ තරම් කඳුලු රිසිසේ මුදා හැරියේ කිසිවකුටත් නොපෙනෙන සේ තම හදවත සැහැල්ලු කර ගැන්මටය.
කවුදෝ තමා සිටි දෙසට පියමං කරනු සිරිසේන දුටුවේ මේ අතරතුරය.
"කවුද ඔතන...ආ.. සිරිසේන අයිය..? බණ අහවරයි...හාමුදුරුවෝ පංසලට වඩින්නයි සූදානම..යමුද ඇතුලට.. පිරිකර පූජාවට කවුරුත් කලබලේ අයියාව හොයනවා..."
බිමට නැඹුරු කරගත් මුහුණ සඟවමින් සිරිසේන නැවත් ගෙතුලට ගියේ විපිලිසර සිතුවිලි වලිනි.
තමන් කොහේදෝ ලෝකයක සිට අද්භූත සිදුවීම් මාලාවකට හසුවී, මැදිවී  සිටින්නාක්  මෙන් ඔහුට වැටහිනි.කිව නොහැකි තරම් පාලුවකින්, කනගාටුවකින්, වේදනාවකින් පිරී ඔහේ පාවෙනවාක් මෙන් ඔහුට දැනින.මේ වේදනාව ජීවිතාන්තය දක්වා තම සිත කය එක්තැන් කරනු ඇත.
හිමිනම අසුනින් නැගිටිනවාත් සමගම බණ ඇසූ පිරිසද පසු පස මේසයක සැකසූ සංග්‍රහයට එකතු වූහ.
සිරිසේන හෙමිහිට ගොස් තම කාමරයේ දොර රෙද්ද මෑත් කර කොට්ටයට මුහුන ඔබා සිටින තම බිරිඳ දෙස සානුකම්පිත බැල්මක් හෙලීය. 
" නාලිනී මේ බලන්න....මිනිස්සු පිට වෙලා යන වෙලාවේ ඔයා කාමරේට වෙලා ඉන්න එක හරි නැහැනේ..අපි යමුද ඒ අයට කතා කරන්න..... එලියට..?
" ඔයා යන්න මට මෙහෙමම ඉන්න ඕනි..."
ඇය හදිසියේ වාවාගත නොහැකි දුකකින් සිරිසේනගේ උරහිසට හේත්තුවී ඉකි ගසන්නට වූවාය.
"අපේ නොලැබීමට අපිට පුතා අහිමි වුනා...ඒ පුතා ගෙනාපු ආයුෂ වෙන්නැති...එහෙම හිතලා අපිට අපේ හිත් හදා ගන්ට වෙනවා...ජීවිතය ආපහු දෙන්ට ශක්‍රයාටත් බෑනේ නාලිනි.."
"මට හිත හදා ගන්ට බෑ.. මගේ අසරණ දරුවාට මේ විපත කල අයට ශාප කරන්ටත් මට බැහැ...මං පෝයට සිල් ගන්න  ගෑනියක්...අනේ කුරා කූඹියකුට වත් වරදක් නොකල මගේ අහිංසකයාට මේ පල දුන්නේ කොයි කවදා කරපු විපතක්ද...?"
"අපි කවුරුත් එන්නේ තනියම, යන්නෙත් තනියම...පුතා අපි දෙන්නාට වඩා ඉක්මන් වුනා.මේ පුංචි ජීවිත කාලයේදී පතාගෙන ආ හැටියට අපි දරු පවුලක් හැටියට එකතු වුනා... ඒක නේද ඇත්ත...?
සර්ව ලෝක සත්‍ය සිරිසේනගේ හැඟුම්බර වචන තුල ගැබ්ව තිබින...
නාලිනී හදිසියේ හිත දැඩි කරගත් විලාශයකින් අමාරුවෙන් නැගිට අසනීප කාරයකු මෙන් කාමරයෙන් එලියට විත් විසිර යන පිරිසට ආචාර කලාය.
"ඕනි දේකට අපි ඔයාල ලඟ ඇති..අපිට ඕනි දෙයක් කියන්න...අපි ඔයාලව තනි කරන්නේ නැහැ........"
පිලිතුරු ලෙස කිව යුත්තේ කුමක් දැයි ඔවුනට නිච්චියක් නොවීය...සමහරුන්ව හඳුනති..සමහර මුහුනු දැක පුරුදු මෙනි.බොහෝ අය නොහඳුනන මුත් ඒ අය අපගේ දුක නිවන්නට අපව හඳුනා ගන්නට පැමිනි අය වන්නට ඇත.
"අපිට හැමෝම අනුකම්පා කරනවා වෙන්නැති..."දෙදෙනාම තනිවම සිතූහ.
සියලු දෙන නික්ම ගිය පසුව සිරිසෙනත්, නාලිනීත් ඇදුම් මාරු නොකරම නිහඬව, හිටි තැනම රැඳුනේ කිසිදු බලාපොරොත්තුවක් නැත්තවුන්  වුන් මෙනි.
හිස් වූ ජීවයෙන් තොර ලෝකයක ඔවුන් දෙදෙනාම අතරමංව සිටියහ.
මේසයට හිස රුවාගත් නාලනීට නින්ද ගොස් තිබුනේ අධික චිත්ත පීඩනය හා වෙහෙස නිසාවෙනි.
ඉදිරි කාමරයක දොරක් හැර වසන ශබ්දයකින් තැතිගෙන අවදි වූ නාලිනී අන්ද මන්දව සැමියා ඇමතුවාය.
"සිරි, මේ  පුතා  ආවාද කොහෙද..? ඇස් කරකවමින් සිසාරා බලන නාලිනී ඇමතූ සිරිසේන 
"නාලිනී, මමයි දොර වැහුවේ.. පුතා...?"
ඔහු මහත් ආයාසයෙන් බිරිඳගේ මුහුණ බැලීය.
සිය සැමියාගේ අත ගසා දමා කාමරයට දිව ගිය නාලිනී එහි දොර හැර සිසාරා ගිය දෙනෙතින් වට පිට බැලුවාය.
යමක් මතක් වූ සෙයින් අසරණ වූ දෙනෙතින් පුතුගේ යහන මත හිඳ ඔහුගේ පොරෝනය දෑතින් ගුලි කර ගෙන මහ හඬින් කෑ ගැසුවාය.
පුතා ආයේ කවදාවත් අපි අතරට එන්නේ නැහැ..ඇයට පිහිට තමා විතරක්මය. ඔහු ඇයව වාරු කර ගත්තේ අපි කොතරම් අසරණදැයි සිතමිනි.
"මේ වගේ විපතක් ලෝකෙ කිසිම දෙමාපියකුට අහන්නවත් සිද්ධ කරන්න එපා.." නොදැනුවත්වම ඔහුගේ මුවින් පිටවූ වදන් ඇසූ නාලිනීගේ ඉකිබිඳුම මහත්වූ  විලාපයකට හැරවිනි.

~සුමනා සත්කුමාර~